SETT Browser සිංහල/දෙමළ ජංගම වෙබ් බ්‍රව්සරය mBillionth South Asian Mobile Awards 2011 හී දී ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබයි ෴

ආයුබෝවන්! මේ කියන්න යන්නෙ මගේ ජීවිතේ තවත් එක් ජයග්‍රහණයක් ගැන නම් නෙමෙයි. මේ මගේ ජීවිතේ මෙතෙක් මා ලද සුවිශාලතම ජයග්‍රහණය. මේ වර්ෂය මුලදි මවිසින් නිර්මාණය කර එළිදැක්වූ SETT Browser for Android නම් සිංහල/දෙමළ ‍ජංගම දුරකථන වෙබ් බ්‍රව්සරය පසුගියදා ඉන්දියාවේ නව දිල්ලි හී පැවැත්වුනු mBillionth South Asian Mobile Awards 2011 නම් දකුණු ආසියානු සම්මාන උළලේදී ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වුනා. මේ ලිපිය ලියැවෙන්නෙ එම ලද ජයග්‍රහණය පිළිබඳව.


mBillionth 2011 ජයග්‍රාහී සම්මානය

ඉන්දියාවේ Digital Empowerment Foundation නම් පදනම මඟින් වාර්ශිකව සංවිධානය කරන මෙම සම්මාන උළෙල සඳහා මෙවර රටවල් 7 කින් නාමයෝජනා 200 ක් ඉදිරිපත් වී තිබුණා. මේ අතුරින් 137 ක් ඉන්දියාවෙන්ද, 19 ක් ශ්‍රී ලංකාවෙන්ද, 16 ක් බංගලාදේශයෙන්ද, පකිස්ථානයෙන් සහ නේපාලයෙන් 6 බැගින්ද, ඇෆ්ගනිස්ථානයෙන් සහ භූතානයෙන් 1 බැගින්ද ලෙස ඉදිරිපත් වී තිබුණා.


මේ අතරින් අවසාන වටයට තේරී පත් වුනේ නාම යෝජනා 52 ක් පමණයි. එම 52 ට ඉන්දියාවෙන් 36 ක් සහ ශ්‍රී ලංකාවෙන් 6 ක් ඇතුලත් වුනා.


මෙම අවසාන 52 අතුරින් ජයග්‍රාහී සම්මානලාභීන් බවට පත් වුනේ නාමයෝජනා 32 ක් පමණයි. මෙම 32 අතර රැ‍ඳෙමින් mBillionth South Asian Mobile Awards 2011 සම්මාන උළෙලේ ජයග්‍රාහී සම්මානලාභියෙකු වන්නට මට හැකියාව ලැබුනා.

mBillionth 2011 ජයග්‍රාහී සම්මානය හිමිකරගත් මොහොත

SETT Browser සඳහා ජයග්‍රාහී සම්මානය නිවේදනය කළ වීඩියෝ පටය

mBillionth 2011 ජයග්‍රාහී සම්මානය සහ සහතිකය සමඟින්

mBillionth 2011 ජයග්‍රාහකයින් සියල්ල

ජයග්‍රාහී සම්මානය ලබාගත් පසුව මා විසින් කළ කෙටි කථනය ජාත්‍යන්තර සභාවක් හමුවේ මා විසින් කරන ලද ප්‍රථම කථනය වුනා. ඉතා කෙටි කථනයක් වුවත් එමඟින් ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තරයේ හොඳ ප්‍රතිරූපයක් ගොඩ නඟන්නට සුළුවෙන් හෝ මට හැකියාව ලැබුණා. ඒ පිළිබඳව නම් සෑහෙන්න සතුටුයි.


mBillionth 2011 ජයග්‍රාහී සම්මානය හිමිකරගැනීමෙන් පසු මා විසින් කළ කෙටි කථනය




m-Inclusion නම් කාණ්ඩය යටතේ SETT Browser සඳහා මා ජයග්‍රාහී සම්මානය හිමි කරගනිද්දී m-Infrastructure කාණ්ඩය යටතේ ශ්‍රි ලංකාවේ Etisalat ආයතනය Appzone සඳහාත්, m-Travel & Tourism කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාවේ Mobitel ආයතනය MTicketing සඳහා ජයග්‍රාහී සම්මාන හිමි කරගත්තා.

අවසාන වටයට තේරුණු 52 අතුරින් ශ්‍රී ලංකාවේ Etisalat ආයතනය, Mobite ආයතනය සහ මම ජයග්‍රාහී සම්මාන හිමි කරගනිද්දී, ශ්‍රී ලංකාවේ තරිඳු දසනායක Word Puzzle සඳහා සහ ‍ෆාත්හි මොහොමඩ් Cheer your team සඳහා අවසන්වට (finalist) සම්මාන හිමි කරගත්තා.

mBillionth හි නිර්මාතෘ ඔසාමා මන්සාර් සහ ශ්‍රී ලංකාවෙන් mBillionth වෙත ගිය පිරිස

මෙම සම්මාන උළෙලට සමගාමීව එදින දවස පුරා පැවති mBillionth Innovation Haat නම් ප්‍රදර්ශනයේදී මාගේ SETT Browser නිර්මාණය පිළිබඳව ලොවටම කියන්නත් මවිසින් ආරම්භ කරන ලද Bhasha Language Services & Solutions ආයතනය නිළ වශයෙන් එළිදක්වන්නත් හැකියාව ලැබුණා.


mBillionth Innovation Haat හි මාගේ ප්‍රදර්ශන කුටිය


ඒ අතරවාරයේදී ජාත්‍යන්තර රූපවාහිනී නාලිකාවක් ඉදිරියේ සම්මුඛ සාකච්ඡාවකට පෙනී සිටින්නත් අවස්ථාවක් උදා වුනා. ඒ Mint නම් අන්තර්ජාල රූපවාහිනී නාලිකාව ඉදිරියේයි.

ප්‍රථම වරට ජාත්‍යන්තර රූපවාහිනී නාලිකාවකින් මා හා සම්මුඛ සාකාච්ඡාවක් පැවැත්වූ නිවේදිකාව

ඉතිං මේ ලැබුණු ජාත්‍යන්තර සම්මානය මගේ ජීවිතේ ලොකුම ලොකු ජයග්‍රහණයක්. රටවල් 7 කින් ඉදිරිපත්වුනු නිර්මාණ 200 ක් අතුරින් ජයග්‍රාහී සම්මානයක් හිමි කරගැනීමත්, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ජංගම දුරකථන සේවා සැපයුම් ආයතන දෙකක් වන Etisalat සහ Mobitel ආයතන වලට හිමි වුනු සම මට්ටමේ ජයග්‍රාහී සම්මානයක් හිමිකරගැනීමට හැකි වීමත් ගැන සෑහෙන්න සතුටුයි.


ඊටත් වඩා එදින සම්මාන උළෙලේදී ජයග්‍රාහී සම්මාන හිමි කරගත් ලාබාලතම ජයග්‍රාහකයා වන්නත් එකම කේවල ජයග්‍රාහකයා වන්නත් ලැබීම ගැන ගොඩක් සතුටුයි. ඉතිං මේ ජය සතුට සමරන මොහොතේ මගේ දිවි ගමනට අත්වැලක් වුන මගේ දෙමාපිය සොයුරු සොයුරි නෑ හිත මිතුරන් වගේම ඔබ හැමෝටමත් ඉත සිතින් මාගේ ස්තූතිය පුද කරන්න කැමතියි.

ඔබ සැමට ස්තූතියි!



.