මාගේ ප්‍රථම පුවත්පත් සාකච්ඡාව - සියලු ශ්‍රී ලාංකික නවක ව්‍යවසායකයින්ට දිරියක්ම වේවා!

ආයුබෝවන්! හැමෝන්ටම සුභම සුභ අලුත් අවුරුද්දක්!

අලුත් අවුරුද්දෙ මුලින්ම මේ කියන්න යන්නෙ මං ගැනම පුංචි තොරතුරුක්. මේ බ්ලොගය ආරම්භයේ පටන් සිටි පාඨකයින්ට මතක ඇති මං මේ බ්ලොගය ඇරඹුවෙ සරසවි ශිෂ්‍යයෙක් ලෙස. නමුත් අද වන විට මම ව්‍යවසායකයෙක්. ඉතිං මං ගැන සහ මවිසින් ආරම්භ කරපු නව සමාගම පිළිබඳ සිංහල ලිපියක් පසුගිය සතියේ 'තරුණයා' ජාතික පුවත්පතේ පළවුනා. මෙම ලිපිය අපේ රටේ ඉන්න නවක ව්‍යවසායකයින්ට දිරියක්ම වෙයි කියලා හිතනවා.



පුවත්පත් සාකච්ඡාව මෙතැන සිට...


ධනික කෞශල්‍ය පෙරේරා නම් වූ මෙම තරුණයා තාරුණ්‍යයේ පසුවන බොහොමයක් තරුණයන්ට ආදර්ශවත් චරිතයක්. මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා හා ඉංජිනේරු අධ්‍යයනාංශයේ අවසන් වසර උපාධි අපේක්ෂකයෙකු වන මොහු අන්තර්ජාලය තුළ ලිවීම්කරණයේද යෙදී සිටී. ධනික මෘදුකාංග නිෂ්පාදනය තුළ මෙරට දී මෙන්ම අන්තර්ජාතික මට්ටමෙන්ද ජයග්‍රහණ මෙන්ම පැසසුම් ලබා ඇත. ගායනයේද සුවිශේෂී හැකියාවක් පෙන්නුම් කරන ධනික මෙවර තරුණයා සමග එක්කර ගනු ලබන්නේ තරුණයෙක් වශයෙන් ඔහු තුළ පවතින්නා වූ සුවිශේෂීතාවන් නිසාමය.

"මගේ ගම පයාගල. මගේ පවුලේ ඉන්නෙ අම්මයි තාත්තයි අක්කලා දෙන්නයි. මම මුලින්ම අධ්‍යාපන කටයුතු හදාරනු ලැබුවේ කළුතර සිරිකුරුස විදුහලෙන්. 1993 වසරේ පාසලට ඇතුළත් වුනු මම 2005 වසරේ පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායක ධූරයද දැරුවා. ඊට අමතරව පාසලේ නාට්‍ය කණ්ඩායමේ, ගායනා කණ්ඩායමේ, බටහිර තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයෙක් වුනු මම, උසස් පෙළ කාලයේ පාසලේ ජ්‍යේෂ්ට විද්‍යා සංගමයේ ලේකම් ධූරයද දැරුවා. මේ සියලු බාහිර වැඩකටයුතුත් සමඟ 2006 වසරේ ගණිත අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට A සම්මාන ‍2 ක් සහ S සම්මානයක් ලබාගන්න සමත් වුණා. නමුත් එයින් මා තේරී පත්වුනේ මොරටුව සරසවියෙ තොරතුරු තාක්ෂණ පීඨයට පමණයි. පොඩි කාලේ ඉඳලා පරිගණක ඉංජිනේරුවෙකු වෙන්න තිබුනු ආසාව නිසාම 2007 වසරේ උසස් පෙළ විභාගයට දෙවෙනි වරටත් පෙනී සිටියා. එහිදී A සම්මාන 1 ක් සහ B සම්මාන 2 ක් හිමිකරගනිමින් කළුතර දිස්ත්‍රික්කයේ 20 වැනියා බවට පත්වීමටත්, මොරටුව සරසවියේ ඉංජිනේරු පීඨයට තේරී පත්වීමටත් මට හැකියාව ලැබුණා.

2008 වසරේ මොරටුව සරසවියේ ඉංජිනේරු පීඨයට ඇතුළත් වුනු මට 2009 වර්ෂයේදී පරිගණක විද්‍යා හා ඉංජිනේරු (CSE) අධ්‍යයනාංශයට තේරී පත්වෙමින් පරිගණක ඉංජිනේරුවෙකු වීම සඳහා මා තුළ තිබූ සිහිනය සැබෑ කරගැනීමේ අඩිතාලම සපයා ගන්නට හැකියාව ලැබුණා. දැනට මා මේ සිටින්නේ මගේ ඒ සිහිනය සැබෑ කරගැනීමේ අවසාන වසරේ. නමුත් මේ අධ්‍යයන කටයුතු සිදුකරන අතරතුරදීම සරසවියේ පැවත්වෙන නාට්‍ය හා ගායනා ප්‍රසංග සඳහාත්, වාර්ෂිකව සංවිධානය කරන නත්තල් බැති ගී ප්‍රසංග සඳහාත් මා නොඅඩුවම දායක වෙනවා."


තාක්ෂණික වශයෙන් නිර්මාණවලට එළඹීම සහ ඒ තුල වෘත්තිය සකසා ගත් ආකාරය පිලිබඳවත් අප ධනිකගෙන් විමසීමක් කළා.

"තාක්ෂණික වශයෙන් නිර්මාණ වලට එළැඹිම ඇරඹෙන්නෙ මගේ උසස් පෙළ කාලයේදීමයි. උසස් පෙළ ව්‍යාපෘතිය ලෙසින් මා නිර්මාණය කළේ 'මානවයා' නම් සිංහල පරිගණක වැඩසටහනක්. මිනිස් සිරුරේ අවයව පද්ධති ගැන සියලුම තොරතුරු රූප සටහන්ද සමඟින් සිංහලෙන් ලබාගත හැකි මෙම නිර්මාණය සඳහා 2007 වර්ෂයේදී මට යොවුන් පරිගණක විද්‍යාඥයා 2007 නම් ජාතික තරඟයේ රිදී සම්මානය හිමි කරගන්නටත් හැකියාව ලැබුණා.

ඉන් අනතුරුව මා සරසවි පැමිනුණු පසුව සරසවියේ තෙවැනි වසරේදි කේවල ව්‍යාපෘතියක් කිරීමට නියමිතව තිබුණා. මෙම කේවල ව්‍යාපෘතිය සඳහාත් මා නිර්මාණය කළේ සිංහල මෘදුකාංගයක්. SETT Browser නම් වූ මෙම මෘදුකාංගය, ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ඇති ජංගම දුරකථන වලින් සිංහල/දෙමළ වෙබ් අඩවි නිවැරදිව කියවිය හැකි ජංගම දුරකථන වෙබ් බ්‍රව්සරයක්. මේ සඳහා 2011 ජූලි මාසයේ ඉන්දියාවේ නව දිල්ලි නුවර පැවති mBillionth නම් දකුණු ආසියානු ජංගම මෘදුකාංග සම්මාන උළලේදී m-Inclusion නම් කාණ්ඩය යටතේ ජයග්‍රාහී සම්මානය දිනා ගන්නටත්, 2011 නොවැම්බර් මස ශ්‍රී ලංකාවේ පැවති ඉ-ස්වාභිමානී නම් ජාතික ඉ-අන්තර්ගත සම්මාන උළලේදී m-Content නම් කාණ්ඩය යටතේ ජයග්‍රාහී සම්මානය දිනා ගන්නටත් මට හැකියාව ලැබුනා.

SETT Browser නිර්මාණය බිහිකිරීමෙන් අනතුරුව 2011 අප්‍රේල් මාසයේදි SETTdeco නම් තවත් නව නිර්මාණයක් මා අතින් බිහිවුනා. එය පරිගණකයේ සිංහල සහය ඇති නැති ඕනෑම අයෙකුට සිංහල වෙබ් අඩවි කියවිය හැකි කරවන වෙබ් සේවාවක්. අද වන විට එය සෑම සිංහල බ්ලොග් අඩවියකම පාහේ භාවිතා වනු දැකගත හැකියි. ඉන් පසුව මා තෙවැනි නව නිර්මාණය ලෙස වෙනස් ආකාරයක සිංහල-ඉංග්‍රීසි ශබ්දකෝෂයක්ද නිර්මාණය කළා.

මේ නිර්මාණ කටයුතු සිදුවූයේ මා සරසවියේ තෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටියදී වුවත්, දේශීය භාෂා නිර්මාණ සම්බන්ධයෙන් මා තුළ තිබෙන දැඩි නිර්මාණලෝලී බව නිසා ඒ සඳහාම කැපවුණු ආයතනයක් ආරම්භ කිරීමට ඒ වන විට මට අවශ්‍ය වුනා. 2011 ජූලි මාසයේදි www.bhasha.lk වෙබ් වසම ලියාපදිංචි වන්නේත්, 2011 ඔක්තෝම්බර් මාසයේදී Bhasha Lanka (Private) Limited නමින් සංස්ථාපිත සමාගමක් ලියාපදිංචි වන්නේත් එහි ප්‍රතිඵල වශයෙනුයි.

ඉහතදී සඳහන් කළ නව නිර්මාණ ත්‍රිත්වය Bhasha SETT Browser, Bhasha SETTdeco සහ Bhasha Dictionary ලෙස නාමිකව වෙනස් වන්නේ මෙම සමාගම ඇරඹීමත් සමඟයි. මෙලෙස නාමිකව ‍වෙනස් වුනු නිර්මාණ ත්‍රිත්වයටම 2011 නොවැම්බර් මස පැවති ඉ-ස්වාභිමානී ජාතික ඉ-අන්තර්ගත සම්මාන උ‍ළලේදී ජයග්‍රාහී සම්මාන ත්‍රිත්වයක් හිමි කරගන්නත්, එම සම්මාන උ‍ළලේදී ජයග්‍රාහී සම්මාන වැඩිම ගණනකට හිමිකම් කියමින් වසරේ හොඳම තොරතුරු තාක්ෂණ සමාගම බවට පත්වන්නෙත් අප භාෂා ලංකා සමාගමට හැකියාව ලැබුණා.

මෙම සම්මාන ලැබීමෙන් අනතුරුවත් 2011 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී අප සමාගමෙන් තවත් නව නිර්මාණයක් එළිදක්වනු ලැබුවා. නමින් 'හෙළකුරු' වන එය ජංගම දුරකථනයෙන් සිංහල යතුරු කළ හැකි ප්‍රථම සහ එකම ශබ්දානුකූල මෘදු යතුරුපුවරුව ලෙස හැඳින්විය හැකියි. ‍එයද මේ වන විට සැමගේ ප්‍රශංසාවට ලක් වෙමින් තිබෙනවා.

අද වන විට මම මොරටුව සරසවියෙ අවසන් වසර උපාධිඅපේක්‍ෂකයෙකු වුවත්, මම මගේම සමාගමේ නිර්මාතෘ, ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂකද වනවා. සරසවි අධ්‍යාපන කටයුතු නිමා කිරීමටත් පෙර මගේ වෘත්තීය තීරණය වී අවසන්.

මගේ වෘත්තිය තොරතුරු තාක්ෂණය හා බැඳුනත් ඊටත් වඩා මා සතුටු වන්නේ මා ව්‍යවසායකයකු වීම පිළිබඳව. මෙන්න මේ තුළ මා සැබෑවටම දේශපාලනිකව මෙන්ම සමාජයීයවද වෙනසක් සිදු විය යුතු යැයි සිතනවා. අපේ රටේ තවමත් ව්‍යවසායකත්වය පිළිබඳ නිසි පැහැදීමක් නැහැ. පාසැල් සිසුවෙකු හෝ වේවා, සරසවි සිසුවෙකු හෝ වේවා හැමෝම බලාගෙන ඉන්නෙ අධ්‍යාපන කටයතු නිමාකරලා රැකියාවක් හොයාගන්න විතරයි. තමන්ගේම දෙයක් පටන්ගන්න සිතන අය බොහෝම අඩුයි. එයට හේතුව අපේම දේශපාලනික, සමාජයීය සහ සංස්කෘතික බලපෑම්. මෙන්න මේ තත්ත්වය වෙනස් විය යුතුයි.

උපාධිදාරියා යනු සමාජයේ අන් අයට වඩා දැනුමින් පොහොසත් වූවෙක්. අඩුම තරමින් උපාධිදාරියාවත් රැකියා සොයන්නකු නොවී රැකියා තනන්නෙකු විය යුතුයි. දේශපාලනිකව සිදුවිය යුත්තේ අපේ රටේ ආයතන ඇරඹීමට අන් රටවලට ඇරයුම් කිරීමට වඩා අපේ රටේම සිටින ව්‍යවසායකයින්ට අත දී ඔවුන්ව ඔසවා තැබීමත්, අපේ රටේ ජන‍යා තුළ ව්‍යවසායකත්වය පිළිබඳ තිබෙන දුර්මත නැති කරමින් ව්‍යවසායකත්වයට මඟ පෑදිමත් යන කරුණුයි.

තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රය ගත්තොත් ඒ අංශයේ ව්‍යවසායකයින්ට දැනට ලැබෙන සහයෝගය ගැන නම් ඉතාම සතුටුයි.‍ මේ වන විට ICTA ආයතනය මඟින් තොරතුරු තාක්ෂණය සම්බන්ධ එවන් ව්‍යවසායකයින් සඳහා විවිධ විෂයයේ උපදේශනයන් ලබාදීමත්, අලුත බිහිවුණු ආයතන සඳහා මූල්‍ය අරමුදල් සැපයීමත් Spiralation නම් ව්‍යාපෘතියක් හරහා සිදු වෙමින් තිබෙනවා. මෙවන් අතහිත දීම් සෑම ක්‍ෂේත්‍රයකම සිදු විය යුතුයි. ඊටත් වඩා සමාජයෙන් මේ පිළිබඳ ඇති දුර්මත තුරන් විය යුතුයි."


ධනික කලාවටක් ළැදියාවක් දක්වන්නෙක්. වත්මන් කලාව තුළ පවත්නා කඩාවැටීම් තරුණයෙකු ලෙසින් විශ්ලේෂණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව විමසීමක් කළ විට ධනික පවසා සිටියේ,

"වත්මන් කලාව ගැන මට කතා කරන්න පුළුවන් රසිකයයෙක්, ප්‍රේක්‍ෂකයෙක්, ශ්‍රාවකයෙක් සහ පාඨකයෙක් ලෙස පමණයි. මා සිතන හැටියට කලාවේ යම් කඩා වැටීමක් තිබේ නම් ඒ සඳහා මූලිකවම වගකිව යුත්තෙ මාධ්‍ය. මොකද තවමත් හොඳ නිර්මාණ බිහි නොවෙනවා නොවෙයි. නමුත් මාධ්‍ය තුලින් ඒ හොඳ නිර්මාණයන් සමාජගත නොවීම හෝ අඩුවීම නිසාවෙන්, ‍දිනෙන් දින නිර්මාණකරුවන්ද පෙළඹෙන්නෙ මාධ්‍ය තුළින් සමාජගත කරවිය හැකි නිර්මාණ බිහි කිරීමට පමණයි."


වෘත්තීමය ජීවිතයේ ඉදිරි අරමුණු පිළිබඳව ධනික අවසාන වශයෙන් පවසා සිටියා.

"මගේ වෘත්තියට මා තවම පිවිසුනා පමණයි. මගේ සමාගම ආරම්භ කර මාස කීපයක් ඇතුළත ජාත්‍යන්තර සම්මානයක් සහ ‍ජාතික සම්මාන ත්‍රිත්වයක් හිමි වීමෙන් පමණක් මා සාර්ථක යැයි මා සිතන්නේ නෑ. මේ ආරම්භය පමණයි, තව බොහෝ දෑ ඇත්තෙ ඉදිරියටයි.

ඉදිරි අරමුණු ගැන කතා කළොත් මට මගේ සමාගමේ දැක්ම ගැන යම් සඳහනක් කළ යුතුයි. භාෂා ලංකා සමාගමේ දැක්ම "මහජනයා සවිබලගන්වමින්" (Empowering the Masses) යන්නයි. තොරතුරු තාක්ෂණය ගත්තොත් ‍එයින් සිදුවන මූලිකම දෙය ජනයාගෙ ජීවිතය වඩා පහසු කිරීමයි. එහෙමත් නැත්නම් සවිබලගැන්වීමයි. නමුත් ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය ඇත්තේ ජනගහණයෙන් 10% කට පමණයි. ඒ නිසා අප තොරතුරු තාක්ෂණය යොදාගනිමින් කොතරම් මෘදුකාංග නිර්මාණය කළත්, ඒවා ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙන තුරාවට ඒවායින් ප්‍රයෝජන ලබාගත හැක්කෙ ලංකාවේ ජනගහණයෙන් 10% කට පමණයි. එම නිසා මෙම මෘදුකාංග වලින් මහජනයාට වාසි අත්පත්කර දීමට නම්, 100% ක් මහජනයා සවිබලගැන්වීමට නම්, අනිවාර්යයෙන්ම දේශීය භාෂා මෘදුකාංග නිර්මාණය වීම හෝ දැනට තිබෙන මෘදුකාංග දේශීයකරණය වීම සිදු විය යුතුයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම තොරතුරු තාක්ෂණ දේශීයකරණ සමාගම ලෙස භාෂා ලංකා සමාගම මා විසින් ඇරඹුවේ මෙන්න මේ කාරණා ඉටු කිරීම සඳහායි. ඒ අනුව අප විසින් දැනටත් ඉදිරියටත් නව දේශීය භාෂා මෘදුකාංග බිහිකිරීම සහ දැනට තිබෙන මෘදුකාංග දේශීයකරණය සඳහා අවශ්‍ය සේවා සැපයීම සිදුකරනු ලබනවා. මේ අනුව අපගේ ඉදිරි අරමුණ වන්නේ "මහජනයා සවිබලගැන්වීම" යන අපගේ දැක්ම යාථාර්ථයක් බවට පත් කිරීමයි.

‍කෙසේ නමුත් අද වන විට මගේ වෘත්තියේ සහ ජීවි‍තයේ යම් සාර්ථකත්වයක් තිබේ නම් ඊට අතහිත දුන් සැමට තුති පිදීම මගේ යුතුකම වනවා. මගේ පවුලේ සියලුම දෙනාට සහ පාසලේ සහ සරසවියෙ ගුරුවරුන් ආචාර්යවරුන් සැමටත්, සැබෑ ජීවිතයේදී සහ අන්තර්ජාලය හරහා මට අතහිත දුන් නෑ හිත මිතුරන් සැමටත්, සමාගම ආරම්භ කිරීම සඳහා මා හා එක්වුනු චාමික වීරසිංහ සහ ඉෂාරා ප්‍රනාන්දු යන නිළධාරීන්ටත්, අප නව සමාගම සමඟ නොපැකිලව ව්‍යාපාරික සබඳතා ගොඩනඟාගත් Etisalat ආයතනයට සහ LTRL ආයතනයටත් මගේ ස්තූතිය පුද කරනවා."

රචින්ත ජයවර්ධන
‍තරුණයා 2011-12-31

------------

මෙම පුවත්පත් සාකච්ඡාව පැවත්වූ අපේ ‍බ්ලොග් අවකාශයේම ඉන්න මිතුරෙක් වන රචින්ත ජයවර්ධන සොයුරාට සහ තරුණයා පුවත්පත ප්‍රකාශයට පත් කරන විජය පුවත්පත් සමාගමට මගේ සහ අප සමාගමේ අවංක ස්තූතිය!



.