සසඳ සසඳ... - මා ගැයූ තවත් ගීයක් ඔබේ රසවින්ඳනයට...

ආයුබෝවන්! කාලෙකට පස්සෙ නේද?  හ්ම්... බ්ලොග් එක ලියන්න අතපසු වෙන එක ගැන නම් සෑහෙන්න දුකයි. මොනා කරන්නද ඉතිං, ටික ටික කාර්යබහුල වෙලානෙ.  මෙච්චර කාලෙකට කවදාවත් බ්ලොග් එක ලියන්න අතපසුවෙන එකට හේතුව විදියට කිසිම තැනක 'කාර්යබහුල වීම' කියන කාරණේ කිව්වෙ නැතත් දැන්නං ඒක නොකියාම බැරි වෙලා. මොකද දැන්නං ඇත්තටම එහෙමයි.

කාර්යබුහුල වෙන්න හේතුව කලින් ලිපිය කියවපු අය නම් දන්නවා ඇති. මේ දවස් වල මට කරන්න වෙලා තියෙන්නෙ ද්විත්ව චරිත රංඟනයක් (double acting සීන් එකක් ). එක පැත්තකින් මම තවම අවසන් වසර සරසවි ශිෂ්‍යයෙක්. අනෙක් පැත්තෙන් මං මගේම සමාගමේ අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක. ඉතිං ඔය චරිත දෙකටම එකපාර පණ පොවන්න‍ වෙලා තියෙන්නෙ තව මාස 8ක් 9ක් යනකල්. මේ අවුරුද්දෙ නොවැම්බර් මාසෙ තමයි සරසවි ජීවිතේ අවසන් වෙන්නෙ. එතකල් ඉතිං මේ දෙකම සමබරව කරගන්න වෙනවා. මොකද දෙකම ඕනෙනෙ. උපාධිය නිසා සමාගමේ වැඩ නවත්තන්නත් බෑ, සමාගමේ වැඩ නිසා උපාධිය අතඅරින්නත් බෑ. කලින් කියලා තියෙනවනෙ කොච්චර අමාරුවෙන්ද මං මේ සරසවි ජීවිතේට ඇතුළු උනේ කියලා. ඉතිං එච්චර අමාරුවෙන් අත්පත්කරගත්ත දේ අතඅරින්නෙ කොහොමද. ඉතිං ඔන්න ඕකයි හේතුව. මේ වගේ චරිත දෙකක් එකපාර ‍රඟදක්වනවා කියන එක සෑහෙන අභියෝගයක්. හැබැයි ඉතිං කොහොමහරි මේ අභියෝගෙට මූණ දෙන්න වෙනවා. මොකද දෙකම මගේ උවමනාවෙන් බාරගත්තු අභියෝග මිසක් කව්රුත් මං පිට පටවපු අභියෝග නෙමෙයිනෙ. අභියෝග නැති ජීවිතේකුත් ඉතිං වැඩක් නෑනෙ. අභියෝග බාරගන්න තරමට තමයි ඒවා ජය ගන්න පුළුවන් වෙන්නෙ. 

කොහොම නමුත් ඉතිං කොයිතරම් කාර්යබහුල උනත් මගේ කලා ජීවිතේටනම් තවම සමු දීලා නෑ. ඉඩක් ලැබෙන හැම වෙලාවකම සරසවියෙ වගේම සාමාන්‍ය ජීවිතයෙත් කලා කටයුතු වලට දායක වෙනවා තවමත් පුළුපුළුවන් විදියට. මතක ඇතිනෙ ඉතිං එදා ඉඳං මං මගේ බ්ලොග් සටහන හරහාත් දැනුම බෙදාගන්නවට අමතරව මං ගයපු ගීත එහෙමත් ඔබේ රසවින්ඳනයට එක් කරපු බව. ඉතිං අදත් මේ ඉදිරිපත් කරන්නෙ අන්න එහෙම කාලෙකට පස්සෙ මං ගයපු ගීයක්.



මේ ගීතය ගායනා කළේ මීට මාස දෙක තුනකට කලින් ගල්කිස්ස හෝටලයේ පැවති මොරටුව සරසවි පරිගණක විද්‍යා හා මැවිසුරු සංගමයේ වාර්ෂික මහසභා රැස්වීමෙදි. ගීතය ගැන විශේෂ සඳහනක් කළොත්, එදා පැවති උත්සවයේ සිංහල ගීතයකට ගායනා වුනේ රෝහණ බැද්දගේ මහතාගෙ මුල්ගායනක් වන මේ ගීතය විතරයි. ඉතිං ඒ වගේ උත්සව සභාවක සරමක් ඇඳන් සිංහල ජන ගීයක් ගායනා කරන්නට ලැබීම මට නම් සෑහෙන්න ආඩම්බරයක් වුනා. 

ගීතයට අත්වැල් ගායනයෙන් සහය වුනු සජී දේවසුරේන්ද්‍ර, අමිලා පරණවිතාන, නදීශානි හේවගේ, යසිත පණ්ඩිතවත්ත, රජිත් චතුංග, මලිත් ධනුෂ්ක, දිලීප පතිරණ යන සොයුරු සොයුරියන්ටත් සංගීතයෙන් සහය වුනු පියුම් ප්‍රනාන්දු, අමිල මනෝජ්, ශානක කුරුවිට සහ කසුන් පෙරේරා යන සොයුරන්ටත්, විඩියෝ පටිගතකරණයෙන් සහ සංස්කරණයෙන් දායක වුනු පුන්සිරු ලහිරුකුමාර සහ සංජය සූරියආරච්චි ඇතුළු පිරිසටත් විශේෂයෙන් ස්තූති කරන්නත් මෙය අවස්ථාවක් කරගන්න ගමන්ම මේ ගීතය රස විදින්න ඔබටත් ආරාධනා කරනවා. ස්තූතියි! 

ඔබට ජය!

.