ස්වභාවික චලන අවිශදතාවය (Natural Motion Blur) - බවු-ටික-විජ්ජා කුප්පියක්



මේ දැක්වෙන්නෙ පසුගිය දිනෙක මගේ කැමරා ඇස බ්ලොග් අඩවියේ පළ කළ සේයාරුවක්. මේ සේයාරුව මම මගේ කැමරා ඇසට අසුකරගත්තෙ බස් එකේ පා පුවරුවෙ ගමන් කරමින් සිටියදී කියලත් මං ඒ සේයාරුවට යටින් ලියලා තිබ්බා. නමුත් මේක දැක්ක ගමන් ඕගොලන්ටත් හිතෙන්න ඇති මේකෙ නම් කිසිම Motion Blur එකක් නෑනෙ කියලා නේ? අපේ බුධාජීව මලයටත් ඔහොම හිතලා තිබුණානෙ. ඉතිං ඔන්න බුධාජීව මලයයි මායි අතර එතනදි comments වලින් පුංචි කතාබහක් ඇති උනා. ඔය පහතින් දැක්වෙන්නෙ ඒ කතාබහ.

---

බුධාජීව: පට්ට පික් එක ! ෆුට් බෝඩ් එකේ යන ගමං කීවෙ ? ඩයිවර් අංකල්ට බස්සෙක නවත්තන්න කියල, පස්සෙද ගත්තෙ ? පික් එක පොඩ්ඩක්වත් blur වෙලා නෑ නෙ ?

මම: තැන්කූ තැන්කූ! අනේ නෑ පිටිපස්සෙ ෆුට්බෝඩ් එකේ යන ගමන් ගත්තෙ.
Motion blur එකක් එන්නෙ මල්ලි කැමරාවට සාපේක්‍ෂව සහ කැමරාවට ලම්භකව object එක වැඩි වේගෙකින් move වෙනකොට. මෙතනදි කැමරාව නැත්තං බස් එක සහ මුහුදු වෙරළ අතර ඇති දුර වැඩි නිසා කැමරාවට සාපේක්‍ෂව සහ ලම්භකව මුහුදු වෙරළ move වෙන වේගය අඩුයි.
Motion blur එකක් නැතුව ඇත්තෙ ඒකයි.

බුධාජීව: හෆ්ෆා ! ෆොටෝ එකක් ගත්තත් එතන බවු-ටික-විජ්ජාව තියනවා නොවැ !

මම: නැතුව නැතුව... ඔය විජ්ජාව නැති තැනක් නෑ නොවැ... මල්ලි ඔය විජ්ජාව ඉගෙන ගන්නව කියලා දන්න හින්දමයි මං ඔය විජ්ජාවෙන්ම පහදලා දුන්නෙ..

බුධාජීව: හික්ස් !

---

ඔය කතාබහේදි Motion Blur එක ගැන කතා උනාමයි මට මතක් උනේ අපි හොර්ට්න් තැන්නෙ යද්දි උඩරට මැණිකෙ දුම්රිය, බිංගේකට ඇතුල්වෙන දර්ශනයක් ගනිද්දි, ඔය Motion Blur එක නියමෙට සටහන් වෙලා තිබුණනෙ කියලා. පහතින් දැක්වෙන්නෙ අන්න ඒ සේයාරුව. (දැන් මෙය කැමරා ඇස බ්ලොග් සටහනේ පළ කර තිබෙනවා)





ඔය රූපෙ A, B, C කියලා තැන් තුනක් ලකුණු කරලා තියෙන්නෙ ඇයි කියලා දැන් හිතෙනවා ඇති නේද? මට හිතුණා මං බුධාජීව මලයට පැහැදිලි කරපු දේ හරියටම හරිද කියලා ඔය විජ්ජාවම යෙදාගෙන පොඩි විමසුමක් කරලා බලන්න. මොකද අපි ඔය විජ්ජාව ඉගෙන ගෙන තියෙනවනම් අපිට පුළුවන් වෙන්නෙපැයි ඔය ඉගෙන ගත්ත තියරි දැනුම ප්‍රැක්ටිකලි යොදාගන්න. ඉතිං මෙතනින් පස්සෙ සටහන් වෙන දේවල් පොඩි බවු-ටික-විජ්ජා කුප්පියක් වෙන්නත් පුළුවන්. ඔය විජ්ජාව ටිකක් හරි තොල කට ගාලා තියෙන අයට නම් මෙතනින් එහාට ලියවෙන දේවල් හොඳට තේරෙයි. අනිත් අයත් අවධානෙන් කියෙව්වොත් තේරුම්ගන්න බැරිවෙන එකක් නෑ.

යම්කසි දෙයක් පහදගන්න පුළුවන් ලේසිම සහ පහසුම ක්‍රමය රූප සටහනක් මගින් එය විශ්ලේෂණය කරලා බලන එකනෙ. ඔය පහත මම ඇඳලා තියෙන්නෙ ඉහත සේයාරුවෙ ඉහළින් බැලුවොත් පෙනෙන ආකාරය.


මෙතනදි කලු ඊතල වලින් ලකුණු කරලා තියෙන්නෙ දුම්රියට සාපේක්‍ෂව අවට පරිසරයෙ ක්‍ෂණික ප්‍රවේගය. A, B, C තැන් තුනේදිම ඔය ප්‍රවේගෙ නියත නිසා එකම දිගකින් තමයි ඒ ඊතල තුන ඇඳලා තියෙන්නෙ. ඔය තැන් තුන කැමරාවට පෙනෙන දිශාවන් අළු පාට ඉරි වලින් ඇඳලා තියෙනවා.

ඊට පස්සෙ කරලා තියෙන්නෙ අර කලු පාටින් ඇඳපු ඊතල තුන, කැමරාවට පෙනෙන දිශා වලට (කොළ ඊතල) සහ කැමරාවට පෙනෙන දිශා වලට ලම්භක දිශා වලට (රතු ඊතල) විභේදනය කිරීම. ඔන්න ඔහොම විභේදනය කළාම ඔබට පෙනේවි A ස්ථානයේ රතු ඊතලය ඉතා කුඩා බවත්, B ස්ථානයේ ඊට වඩා දිගින් වැඩි බවත්, C ස්ථානයේදි ඊටත් වඩා දිග බවත්.
නැවත වරක් ඉහත සේයාරුව බැලුවොත් ඔබට පෙනේවි A, B, C තැන් තුනේදි සිදුවෙලා තියෙන Motion Blur එකත් A ට වැඩී B, B ට වැඩී C බව. එනම් Motion Blur එක වැඩි වී තිබෙන්නෙ මෙහි රතු ඊතල වල දිග (කැමරාවට සාපේක්‍ෂව සහ කැමරාවට ලම්භකව වස්තුවේ ප්‍රවේග සංරචකය) වැඩිවන විටයි. එනම් මේ සේයාරුව සැලකීමේදී අපේ නිගමනය නිවැරදියි.

මේ සටහනේ මුලින්ම තියෙන සේයාරුව (බස් එකේ යන ගමන් ගත්ත එක) සැලකුවොත්, එහිදී කැමරාවට සාපේක්‍ෂව සහ කැමරාවට ලම්භකව වස්තුවේ ප්‍රවේගය කියන්නෙ බසය ඉදිරියට යන ප්‍රවේගයමයි. (විශාලත්වයෙන්) නමුත් එහිදී සේයාරුව කැමරා ඇසට අසුකරගත්තෙ බසය සැලකිය යුතු වේගයකින් ගමන් කරමින් තිබියදී වුවත් මෙම සේයාරුවේ කිසිම blur වීමක් සිදු වී නෑ. අන්න එතනදි අපේ නිගමනේ පොඩි අඩුපාඩුවක් තිබෙන බව පේනවා.


ඉහත සංවාදය නැවත වරක් කියවලා බැලුවොත් ඔබට පෙනේවි මං කියලා තියෙනවා
"මෙතනදි කැමරාව නැත්තං බස් එක සහ මුහුදු වෙරළ අ
තර ඇති දුර වැඩි නිසා කැමරාවට සාපේක්‍ෂව සහ ලම්භකව මුහුදු වෙරළ move වෙන වේගය අඩුයි" කියලා. නමුත් ආයෙත් කල්පනා කරලා බලද්දි මට තේරුණා බසය සහ වෙරළ අතර දුර වැඩි උනායි කියා එම සාපේක්‍ෂ ප්‍රවේගය අඩු නොවෙන බව. නමුත් මෙහිදි blur නොවීමට නම් ඔය බසය සහ වෙරළ අතර දුර වැඩි වීම හේතුකාරක වෙලා තිබෙන බව නම් ප්‍රායෝගිකව අපිට තේරෙනවා.

පොඩ්ඩක් මෙහෙමත් හිතන්නකො. අපි බස් එකේ යන ගමන් පාර අයිනෙ තියෙන ගස්කොළන් photo එකක් ගත්තොත් හොඳටම blur
වෙනවනෙ. නමුත් ඒ වේගෙන්ම බස් එකෙන් යනකොට ඈත තියෙන දුරකතන කුළුණක් වගේ දෙයක් ගත්තොත් blur වෙයිද? නෑනෙ. ඒ කියන්නෙ අපිට හිතන්න පුළුවන් කැමරාව සහ වස්තුව අතර දුර වැඩි වෙනකොට blur වීම අඩුවෙනවා කියලා.

ඒ කියන්නෙ අපිට අවසා
න නිගමනේකට එන්න පුළුවන් Natural Motion Blur එකක් ඇතිවීම සඳහා, කැමරාවට සාපේක්‍ෂව සහ කැමරාවට ලම්භකව වස්තුවේ ප්‍රවේග සංරචකය අනුලෝමවත්, කැමරාව සහ වස්තුව අතර ඇති දුර ප්‍රතිලෝමවත් බලපාන බව. දැන් අපි ඕක විජ්ජාවට දාලා බලමුකො.

කැමරාවට සාපේක්‍ෂව සහ කැමරාවට ලම්භකව වස්තුවේ ප්‍රවේග සංරචකය = v ලෙසත්,
කැමරාව සහ වස්තුව අතර ඇති දුර = r ලෙසත් ගමුකො.





මෙන්න අපේ අවසන් නිගමනය. ඡායාරූපකරණයේ දී ඇතිවන ස්වභාවික චලන අවිශදතාවය (Natural Motion Blur) කැමරාවට සාපේක්‍ෂව වස්තුවේ ක්‍ෂණික කෝණික ප්‍රවේගයට අනුලෝමව සමානුපාතික වේ.

ඉහත උදාහරණ ලෙස අප සැලකූ සේයාරූ දෙකටම මෙම නිගමනය නිවැරදි බව මදක් අධ්‍යයනය කළොත් වැටහේවි. බස් එකේ යන ගමන් ගත්ත සේයාරුව blur නොවුනෙ බසයට සාපේක්‍ෂව වෙරළේ ක්‍ෂණික කෝණික ප්‍රාවේගය අඩු නිසා. (එහිදී r ඉතා වැඩි නිසා v/r=ω ඉතා කුඩායි) අනෙක් සේයාරුවේදි blur වීම A ට වැඩී B, B ට වැඩී C ලෙස වී තිබෙන්නෙත් එහිදී කැමරාවට සාපේක්‍ෂව එම එක් එක් ස්ථාන වල ක්‍ෂණික කෝණික ප්‍රවේග A ට වැඩී B, B ට වැඩී C වීම නිසයි. (එහිදි v වැඩි වෙන්න වෙන්න, r අඩු වෙලා තියෙනවා. එනම් v/r=ω එන්න එන්න වැඩි වෙනවා) ඒ කියන්නෙ අපේ අන්තිම last final නිගමනය හරියටම හරි!

එහෙනම් ඔන්න කුප්පිය ඉවරයි. ප්‍රශ්න තියෙනවනම් අහන්න.

19 යි ප්‍රතිචාර

දිමුතු said...

නියම පැහැදිලි කිරීමක්.

ස්තූතියි.

ධනික | Dhanika said...

@Dimu
ස්තූතියි!

Anu said...

එළට පැහැදිලි කරල තියනව. මමත් ඔය motion blur ලෝලියෙක් තමා.

NUWAN said...

ඈත්තටම බොහෝම වටිනවා.මමත් විනෝදාංශයක් විදියට චායාරූප ගන්න කෑමති කෙනෙක් හෑබෑයි මගෙ ජන්ගම දුරකතනයට පින්සිදුවෙන්න තමා

budhajeewa said...

අපි තාම "කෝණික ප්‍රවේගය" කියන විෂය කරුණ අධ්‍යයනය නොකළාට, ඔයා මෙතන පැහැදිළි කරලා තියන ආකාරය නිසා මෙතන සංසිද්ධිය හොඳින් තේර්ම් ගන්නට පුළුවන්. එය මේ Motion Blur කියන එක පැහැදිළි කරගන්න වගේම, අපේ කට්ටියට කෝණික ප්‍රවේගය අවබෝධ කරගන්නත් උදව්වක් වේවි. ස්තුතියි !

සමීර විමලරත්න said...

හොඳ පැහැදිලිකිරීමක් මචං....

ධනික | Dhanika said...

@Anu
ස්තුතියි! මාත් හරි ආසයි ඔය Motion Blur එකට...

@MUWAN's Lane
ස්තූතියි! ඉතිං මාත් ඔය ලිපියෙ දාලා තියෙන photos දෙකම ගත්තෙ මගේ phone කට්ටට (අවුරුදු 2ක් විතර පරණ W810i එකක්) පිං සිද්ධවෙන්න තමයි... ඔය තියෙන්නෙ Motion Blur එක අපූරුවට... :D

@Supun Budhajeewa
අෆොයි මං හිතුවා කෝණික ප්‍රවේගය කරලා ඇති කියලා.. සාපේක්‍ෂ ප්‍රවේගය නම් කරලා ඇති නේ? මොනා උනත් මේ ලිපියෙන් මල්ලිලාට නංගිලාට අධ්‍යාපනයට අදාළ යම් දෙයක් ඉගෙනගන්න පුළුවන් උනා නම් ඒ ගැන මට ගොඩක් සතුටුයි! :)
මොකෝ කියන්නෙ මං පටන්ගන්නද online බවු-ටික-විජ්ජා කැලෑසියක්..? :D :D

ධනික | Dhanika said...

@සමීර විමලරත්න
ස්තූතියි මචං......!

wayaba withthi said...

නියමයි තව පින්තු අරන් දාන්න

ධනික | Dhanika said...

@wayaba withthi
ස්තූතියි! තව මං ගත්තු සේයාරූ බලන්න මගේ කැමරා ඇස බ්ලොග් අඩවියට පිවිසෙන්න...

ජීවන්ත said...

ඇයි කැමරාවෙ shutter speed එකත් බලපානවා.

සමීකරණය ගොඩනගද්දී වඩා සාධාරණව ලියනවා නම් v හා r හි බලයන් සඳහාත් අඥාත පද(උදා: v^x හා r^y විධියට) යොදාගත යුතුයි. මේවාට පසුව පරීක්ෂණ කරලා නියම අගයන් යෙදිය යුතුයි. කොහොම නමුත් මෙය පැහැදිලි කිරීමට ඔබ ගත් උත්සාහය ඉහලින් අගය කරමි.

බවු-ටික-විජ්ජා කැලෑසියට ඕනෙ නම් full support එකක් දෙන්නම්!!!

ධනික | Dhanika said...

@ජීවන්ත
ඔව් ඔව් Motion Blur එකක් ඇතිවීමට මූලිකම හේතුව තමයි Shutter Speed එක. Shutter Speed එක වෙනස් කිරීමෙන් ඔය Motion Blur එක ඇතිවීම වළක්වාගන්න උනත් පුළුවන්. නමුත් මං මෙහිදී සොයන්න උත්සහ කළේ එකම කැමරාවකින් සහ එකම Shutter Speed එකකින් ගත් සේයාරූ වල Motion Blur එක අඩු වැඩි වෙන්න හේතුකාරක වන සාධක.

ඇත්ත. හරියටම සාධාරණ සමීකරණයක් ගොඩනගනව නම් බලයන් සඳහා අඥාත පද විතරක් නෙමෙයි ඉදිරියට නියතයක් (K) ද යොදා එයත් සෙවිය යුතු වෙනවා. නමුත් Motion Blur සඳහා සංඛ්‍යාත්මක මිණුම් දණ්ඩක් නොමැති නිසා මෙහිදී අපිට සංඛ්‍යාත්මක සමීකරණයක් ගොඩ නැගිය නොහැකියි. මං මෙතනදි සොයා බැලුවෙ Motion Blur එක අඩු වැඩි වෙන්නෙ මොන මොන සාධක අඩු වැඩි උනොත්ද කියලා විතරයි. (අනුලෝම ලකුණ භාවිතා කළේ ඒ නිසයි)

කොහොමනමුත් මගේ මේ පුංචි උත්සහය ඉහළින් අගය කිරීම ගැන ඔබට බොහොම ස්තුතියි!
එළ එළ එහෙනම් ඔන්න මං ‍ලොකුවට පොස්ටරයක් එහෙම ගහලා කැලෑසිය පටන් ගන්නවා.. Fulll sup එක ඕනා!!! :D

Deeps said...

Thanks a lot for the explanation

blog එකේ customer care හොඳ නිසා යංතං තේරුම් ගත්තා

Rajitha Udawalpola said...

Nice explanations.

I think it is more natural to explain motion blur by the amount of object moved relative to the capturing device while the shutter is opened.

It nearly equal to the angle of movement. Which is v*t/r, where v is relative velocity perpendicular to the direction of camera, t is time shutter is opened, and r is the distance from camera. Since shutter speed is constant it is proportional to angular velocity.

මනුශාන් said...

අස්පට සිරි දැන් දැක්කේ
එළ ලිපිය
බොම ස්තුතියි අයියෙ

ධනික | Dhanika said...

@deeps
Thanks!!! හි හි.. Customer care හොඳ ඉතිං subscriber හොඳ නිසා තමයි... :D

@මනුශාන්
ස්තුතියි මලයණ්ඩි! මලයණ්ඩිත් සාපේක්‍ෂ ප්‍රවේගය, කෝණික ප්‍රවේගය වගේ ඒවා ඉස්කෝලෙ කරද්දි මේක මතක්වෙයි නේ....? :D

ධනික | Dhanika said...

@Rajitha Udawalpola
Thanks!
I've not studied photography or these things & this explanation is just a thought of mine. After reading your comment I also understood how the time factor affects on it. So I agree with you that Motion Blur is a function of angular distance. But here as I've made my explanation while keeping the shutter speed constant, then it is proportional to the angular velocity as you have already mentioned.
So you have proven my conclusion. Thank you very much for the proof!

දිලාන් said...

නොදැන හිටපු දෙයක් දැනගත්තා.හොද පැහැදිලි කිරිමක්.

ධනික | Dhanika said...

@දිලාන්
ස්තූතියි!

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails