සිංහල ඉංග්‍රීසියෙන් ලියන්නට සම්මතයක් ? | A Standard ‍for writing Sinhala in English ?

මේ ප්‍රශ්නෙ සෑහෙන කාලයක් තිස්සෙ ඉඳං මගේ හිතේ තිබ්බත් මේ ගැන ලිපියක් ලියන්න ඕනා කියලා හිතුණෙ පසුගිය දවසක වෙච්ච පුංචි සිද්ධියකින් පස්සෙ.

අපේ CSE 08 batch එකේ මුල්ම trip එක පහුගිය දවස්වල අපි ගියෙ දූවිලි ඇල්ල සහ කන්නෙලිය පැත්තෙ. දූලි ඇල්ල නම් මරු. එක දිය ඇළ්ලක් නෙමෙයි දිය ඇලි කීපයක් බැගින් තමයි තියෙන්නෙ, දිය ඇල්ළෙන් ගලන වතුර එක්රැස් වෙන නාන්න පුළුවන් විදියට හදපු ස්වභාවික තටාක කීපයකුත් තියෙනවා. කට්ටිය ඉතිං හිතේ හැටියට නාගත්තා. කන්නෙලියත් හරිම අපූරුයි. කූඩැල්ලො ගලව ගලව ගිය හැටි නම් කවදාවත් අමතක වෙන්නෑ.

ගැටළුව:

ඉතිං ආයෙත් මාතෘකාවට බහිමුකො. මං අර කියපු පුංචි සිද්ධිය වුණේ අපි ගිය trip එකේ photos මූණුපොතේ දැම්මට පස්සෙ. බලන්නකො මෙන්න මේ photo එකට ලැබුණු ප්‍රතිචාර ටික.





ඉතිං ඔය තියෙන්නෙ සිංහල ඉංග්‍රීසියෙන් ලියන්න ගිහාම වෙන දේවල්. මේ වගේ දේවල් නම් ඉතිං අපිට ඉදිරියෙදි වෙන එක වළක්වගන්න පුළුවන් දැන් සිංහල යුනිකෝඩ් තියෙන හින්දා. හැබැයි ඉතිං අනිවාර්යෙන්ම සිංහල ඉංග්‍රීසියෙන් ලියන්න වෙන අවස්ථා ඕන තරම් අපිට එදිනෙදා ජීවිතයෙදි හමුවෙනවනෙ.

විශේෂයෙන්ම සිංහල පුද්ගල නාම පද ඉංග්‍රීසියෙන් ලියද්දි ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග මහා පටලැවිලි ඇතිවෙනවා. මෙන්න උදාහරණ කීපයක්.

  • Achala - අචල , අචලා
  • Amila - අමිල, අමිලා‍
  • Anoja - අනෝජ, අනෝජා
  • Dinusha - දිනූෂ, දිනූෂා
  • Indrachapa - ඉන්ද්‍රචාප, ඉන්ද්‍රචාපා
  • Ishara - ඉෂාර, ඉෂාරා
  • Kaushalya - කෞශල්‍ය, කෞශල්‍යා
  • Muditha - මුදිත, මුදිතා
  • Shakunthala - ශාකුන්තල, ශකුන්තලා

මෙහිදි ප්‍රශ්නෙ තියෙන්නෙ වෙනස් සිංහල වචන දෙකක් ඉංග්‍රීසියෙන් ලිව්වම එම වචන දෙකම සමාන වෙන එක. වෙන විදයකට කිව්වොත් එකම ඉංග්‍රීසි වචනෙ සිංහලෙන් වෙනස් ආකාර වලින් ලියන්න පුළුවන් වීම. මේ ප්‍රශ්නෙ හින්දා මාත් කටු කාපු අවස්ථා තියෙනවා. මගෙත් මැද නම 'කෞශල්‍ය' නෙ. ඉතිං පුංචි කාලෙ සමහර තරඟ දිනුවම තෑග්ගට බොනික්කො හම්බෙච්ච අවස්ථා එහෙම සෑහෙන තියෙනවා. අපේ ශකුන්තල අයියත් මේ ප්‍රශ්නෙට අනිවා මුහුණදීලා ඇති.

පුද්ගල නාම සම්බන්ධයෙන් තව ප්‍රශ්නයත් තියෙනවා. ඒ තමයි එකම සිංහල වචනය ඉංග්‍රීසියෙන් වෙනස් ආකාර වලින් ලිවීමට පුළුවන් වීම.

  • සමරසිංහ - Samarasinha, Samarasigha, Samarasighe
  • බණ්ඩාරනායක - Bandaranayaka, Bandaaranayaka, Bandaranayake
  • රාජපක්‍ෂ - Rajapaksha, Rajapaksa, Rajapakse
  • සොයිසා - Soysa, Soyza, Zoyza, Soisa

මේ ගැටළුව හන්දා මුහුණපාන්න වෙන එක ප්‍රශ්නයක් තමයි පුද්ගලයන් සමූහයකගෙ දත්තමූලයක් (Database) සෑදීමෙදි ඇතිවෙන ගැටළුව. උදාහරණෙකට ගන්නකො SLT Directory එක. ඕකෙ ආකාරාදි පිළිවෙලට අපි සමරසිංහ කෙනෙක්ව හොයන්න ගියොත් අපිට Samarasigha, Samarasighe කියන වාසගම් දෙකේ‍ම හොයන්න වෙනවා. පුද්ගල නාම සම්බන්ධයෙන් විතරක් නෙමෙයි ස්ථාන නාම, වීදි නාම, නගර නාම ලියද්දිත් මේ ගැටළුවටම මුහුණපාන්න වෙනවා.

  • ථූපාරාමය - Thuparamaya, Thooparaamaya, Tuparamaya
  • ඥානෝදය විද්‍යාලය - Gnanodaya Vidyalaya, Nyanodaya Vidyalaya
  • ඇත්පංතිය පාර - Athpanthiya Road, Ethpanthiya Road
  • කළුතර - Kalutara, Kaluthara


හේතුව:

අපි පොඩ්ඩක් හිතමුකො මෙහෙම වෙන්නෙ ඇයි කියලා. තියෙන්නෙ පුංචි ප්‍රශ්නයක්නෙ.
මෙතන තියෙන ගැටළුව තමයි සිංහල ස්වර සහ ගාත්‍රාක්‍ෂර සියල්ල එලෙසින්ම ඉංග්‍රීසියෙන් ලියන්නට නොහැකි වීම සහ ඉංග්‍රීසි ස්වර සහ ගාත්‍රාක්‍ෂර සියල්ල එලෙසින්ම සිංහලෙන් ලියන්නට නොහැකි වීම. බලමුකො උදාහරණ කීපයක්.

ස්වර:
  • අ, ආ - ස්වර දෙක සදහාම භාවිත කරන්නෙ a
  • ඇ, ඈ - ස්වර දෙක උච්චාරණය වන ලෙස ලිවිය හැකි ක්‍රමයක් නැත (භාවිතයන් a, e)
  • ඉ, ඊ - ස්වර දෙක සඳහාම භාවිත කරන්නෙ i
  • උ, ඌ - ස්වර දෙක සඳහාම භාවිත කරන්නෙ u
  • එ, ඒ - ස්වර දෙක සඳහාම භාවිත කරන්නෙ e
  • ඓ - ස්වරය සඳහා භාවිතයන් ai, y
  • ඔ, ඕ - ස්වර දෙක සඳහා භාවිත කරන්නෙ o
  • ඖ - ස්වරය සඳහා භාවිතයන් au, aw

ගාත්‍රාක්‍ෂර:
  • ද, ඩ - ගාත්‍රාක්‍ෂර දෙක සඳහාම භාවිත කරන්නේ da
  • ට, ත - ඇතැම් විට මේ ගාත්‍රාක්‍ෂර දෙක සඳහාම ta භාවිත වේ
  • ඥ, ඤ - ගාත්‍රාක්‍ෂර දෙක උච්චාරණය වන ලෙස ලිවිය හැකි ක්‍රමයක් නැත (භාවිතයන් gna)


යෝජිත විසඳුම්:

මෙතන ප්‍රශ්නෙ වෙන්නෙ මේ අකාරයෙන් ඉංග්‍රීසියෙන් හරියටම ලියන්න බැරි වචන (ස්වර සහ ගාත්‍රාක්‍ෂර) එක එක්කෙනා එක එක විදියට ලියන්න ගිහාමනෙ. නමුත් සිංහල ඉංග්‍රීසියෙන් ලිවීම සඳහා නිශ්චිත ලෙසම නීර්ණය කරගත්තු සම්මත ක්‍රමයක් තිබුණා නම් මේ ගැටළු සියල්ලටම පිළියම් ලැබේවි. මොකද එතකොට හැමෝම භාවිතා කරන්නෙ යම් නිශ්චිත පොදු ක්‍රමයක් නිසා ව්‍යාකූලතා ඇතිවීම සම්පූර්ණයෙන්ම මගහැරෙන නිසා.

මේ සම්මතය ගොඩනගන්න පුළුවන් විදි දෙකක් තියෙන්නවා. (තව තියෙන්නත් පුළුවන්...) ඒ තමයි ඉංග්‍රීසියෙන් ලිවීමේදී ව්‍යාකූලතා තියෙන සිංහල ස්වර සහ ගාත්‍රාක්‍ෂර සඳහා, එක්කො අපිට සංකේතාත්මක ඉංග්‍රීසි අකුරු භාවිත කරන්න පුළුවන්, නැත්නම් අකුරු දෙකක් හෝ තුනක් බැගින් වන අකුරු සංයෝජනයක් භාවිත කරන්න පුළුවන්.

මේ තියෙන්නෙ ඒ සඳහා උදාහරණ කීපයක්.





ඉතිං ඔන්න ඔය විදියට ඕනෙම සිංහල වචනයක් ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන් ක්‍රමවේදයක්, යම් සම්මතයක් 'අපි' ගොඩනගාගත්ත නම් අර මුලින්ම සඳහන් කළා වගේ ගැටළු ඇති වෙන එක වළකීවි. ඒ වගේම එයින් සිංහල භාෂාවෙ වටිනාකමත් වැඩිවේවි. හැබැයි ඉතිං යම් කිසි දෙයක් 'සම්මතයක්' බවට පත්වෙන්නෙ එය භාවිතා කරන සියල්ලන්ටම පොදු වුණු දෙයක් වුණොත් විතරයි. ඉතිං අර කලින් දක්වපු
'අපි' බවට පත්වෙන්නෝන අපේ මේ සිංහල භාෂාව භාවිතා කරන සිංහල අපි හැමෝම.

සම්මතය සඳහා වඩා සුදුසු ඉහතින් දක්වපු සංකේතාත්මක ඉංග්‍රීසි අකුරු භාවිතයද, නැත්නම් අකුරු සංයෝජන භාවිතයද, එසේත් නැත්නම් ඊටත් වෙනස් වූ ක්‍රමයක්ද කියන එක මෙවැනි සම්මතයක් නිර්මාණය වෙන මතු යම් දවසක තීරණය කරන්නට වේවි.

13 යි ප්‍රතිචාර

Narada said...

අගනා ලිපියක්, මෙවැන්නක් ඉරිදා ලක්බිමේ 2008 වර්ෂයේදී හෝ 2007 වර්ෂයේදී පළ වුණා මතකයි. ඇතැම් පුද්ගලයින් (විශේයෙන්ම ජංගම දුර්කථන භාවිතයේදී) මෙසේ කොටන බව දා දැක ඇති අතර, මාද ඒ කාලේ මේ ක්‍රමය අනුගමන කරා. ඒත් ඒ දවස්වල පැතිර යමින් තිබුණු Nec, Samsung, LG හා Sharp ජංගම දුරකථනවල European Characters නැති නිසාත් ඇතැම් අකුරු වලට වැඩිපුර Text limit එකෙන් කොටසක් කැපෙන නිසා ඒක මාස හය හතකින්ම නවත්තුවා.

පරිගණක ක්‍රේෂතුයේදී මේවා භාවිතා නොකරන්නට හේතුව නොදැනුවත්කම/කල්පනා නොවීම වගේම ඒම European අකුරු කොටන්නට දැනුම නැති වීම නිසායි, අනික සියලු දෙනා වාගේ පිහිටුවා තියෙන්නේ US Keyboard Layout ඒක නෙව, කොටින්ම මගේ ලැප්ටොප් එකේ යතුරු පුවරුව Canadian English~French එකක් වුණත් මම පිහිටුවා තියෙන්නේ US Keyboard Layout ඒක.

Narada said...

අනික, ක්මෙන්ටු දැමු මුල් තුන් දෙනාගේ නම හා පින්තුරට Blur කරනවා නම් හොඳයි, ඒ ඔවුන්ගේ පෙෘද්ගලිකත්වයට ගරු කිරිමක් වෙනවා.

ධනික | Dhanika said...

@~බිன்ku~
ස්තූතියි! European අකුරු කෙටීමේ ගැටළුව එන්නෙ සම්මතය සඳහා, යෝජිත මුල් ක්‍රමය වන සංකේතාත්මක ඉංග්‍රිසි අකුරු භාවිතයෙදි පමණයිනෙ. සම්මතය හැටියට ‍අකුරු සංයෝජන භාවිතා කළොත් එවැනි බාධාවක් ඇති නොවේවි නේද?
(ඔබ කී ලෙස එම නම් සහ රූප බොඳ කළා)

ශාකුන්තල | Shaakunthala said...

ගැටළුව - විසඳුම - හේතුව විධියට පැහැදිලි කර ලියා ඇති ආකාරය අනර්ඝයි.

"සම්මතය සඳහා වඩා සුදුසු ඉහතින් දක්වපු සංකේතාත්මක ඉංග්‍රීසි අකුරු භාවිතයද, නැත්නම් අකුරු සංයෝජන භාවිතයද, එසේත් නැත්නම් ඊටත් වෙනස් වූ ක්‍රමයක්ද කියන එක මෙවැනි සම්මතයක් නිර්මාණය වෙන මතු යම් දවසක තීරණය කරන්නට වේවි."

සිංහල යුනිකේතය මේ සියල්ලටම වඩා පහසුයි. තාක්ෂණය දිනෙන් දින දියුණු වෙනවා... නුදුරු අනාගතයේ දී සිංහල යුනිකේතය ඕනෑම ඉලෙක්ට්‍රොනික උපකරණයක් සමඟ පහසුවෙන් පාවිච්චි කළ හැකි ප්‍රශස්ත මට්ටමකට එළඹෙන බව සිකුරුයි. එතෙක් අප කළ යුත්තේ සිංහල යුනිකේතය වඩ-වඩාත් භාවිත කරමින් මෘදුකාංග/ දෘඩාංග නිෂ්පාදකයින්ව, යුනිකේතය සඳහා සහය දක්වන නිෂ්පාදන එළිදැක්වීමට පෙළඹවීමයි. අපි කළ යුතු සුදුසු ම කාරිය එය බව මගේ මතයයි.

ධනික ඉදිරිපත් කරන ක්‍රමය හොඳයි. නමුත් ප්‍රායෝගිකව විජේසේකර යතුරුපුවරුවට හුරු වීම ඊටත් වඩා පහසු බවයි මගේ මතය. මේ හෝඩිය යි ඊට අදාළව යතුරු පුවරුව හැසිරවීමයි වැඩ දෙකක් පුරුදු වෙන එක අමාරුයි. අළුත් භාෂාවක් ඉගෙනගන්නව වගේ.

---

මගේ නම ටපලවා ගන්න එක ගැන ලියනවට වඩා හොඳයි පිංතූරම දාන එක.. :D

http://www.4shared.com/file/160982100/b9450561/gender_mismatch.html

kasun said...

ජාතියක භාෂාවක තාක්ෂණික පැත්තෙන් එහි මතු පැවැත්ම උදෙසා ඔබ විසින් මෙහෙය වූ මෙවැනි නිර්මාණශිලී අදහස් වෙනූවෙන් ඔබ වෙත අපගේ ගෞරවනීය ප්‍රණාමය...

ධනික | Dhanika said...

@ශාකුන්තල

බොහොම ස්තූතියි ලිපිය ලියා ඇති විදිය ගැන කළ පැසසීමට!
නමුත් මට පේන්නෙ ශාකුන්තල අයියා මං කියන්න හදපු දේ පොඩ්ඩක් වැරදියට වටහගෙන වගේ. මං මේ කතා කරන්නෙ අර මුලින්ම දාපු මුණුපොතේ පිංතූරෙ කමෙන්ට වලදි වගේ Singlish වලින් හැමදේම ලියන්න යද්දි ඇති වෙන ගැටළු ගැන නෙමෙයි.

"මේ වගේ දේවල් නම් ඉතිං අපිට ඉදිරියෙදි වෙන එක වළක්වගන්න පුළුවන් දැන් සිංහල යුනිකෝඩ් තියෙන හින්දා. හැබැයි ඉතිං අනිවාර්යෙන්ම සිංහල ඉංග්‍රීසියෙන් ලියන්න වෙන අවස්ථා ඕන තරම් අපිට එදිනෙදා ජීවිතයෙදි හමුවෙනවනෙ."

අපිට ඉංග්‍රීසි භාවිතය අත්‍යවශ්‍ය වෙන්නෙ ඕනෑම කෙනෙක්ට කියවිය හැකි ලෙස දත්ත සුරැකීමෙදි. (උදා: SLT Directory එක, නාම පුවරු, දත්තගබඩා වැනි)
සිංහල භාෂාව කියවන්න පුළුවන්කම තියෙන්නෙ සිංහලයන්ට විතරයි. නමුත් මේ යෝජනා කළ සම්මතයන් වැදගත්වෙන්නෙ සිංහල නොවන අය අතරට සිංහල භාෂාව (සිංහල වචන) ගෙනයාමේදී.

ධනික | Dhanika said...

@kasun
බොහොම ස්තූතියි!
සිංහල භාෂාව අපේ. එය රැකගැනීම අපේ යුතුකමක් වගේම වගකීමක්!

ශාකුන්තල | Shaakunthala said...

ආ... හරි. මට වැරදීමක් වුණේ. ලිපියේ අරමුණ දැන් පැහැදිලියි. සිංහල නොවෙන අය අතරට මේ වචන ගෙනියන්න ධනික ඉදිරිපත් කරන ක්‍රමය වඩා සුදුසුයි කිමා මමත් හිතනවා. ඒත් දැනට එය භාවිතාවේ නොපවතින්න හේතුව විධියට මම හිතන්නේ මේ හෝඩිය මතක තියාගන්න අපහසු වීම කියලයි මම හිතන්නේ.

කතන්දර Kathandara said...

You have forgotton one form of බණ්ඩාරනායක - one clan writes it as: Bandaranaike.

එක එකා තමන් ගේ නම් යන හැටි ගැන අපිට කළ හැකි දෙයක් නෑ. ඒත් පොදු සිංහල වචන සඳහා LacNet එකේ කට්ටිය {www.lacnet.org) Trasliteration Scheme එකක් යෝජනා කළා මට මතකයි www.sinhalajukebox.org එක හදන කාලේ.

මෙන්න ඒ ගැන විස්තරඃ
http://www.sinhalajukebox.org/SJBoxTranslit.html

කතන්දර කාරයා i.e., Kathandara Kaarayaa

ධනික | Dhanika said...

@ශාකුන්තල
මතක තියාගන්න අපහසුකමටත් වඩා මට හිතෙන්නෙ එහෙම සම්මතයක් තවමත් නොමැති කමයි තියෙන්නෙ. ඒ නිසයි එක එක අය එක එක විදියට සිංහල ඉංග්‍රීසියෙන් ලියන්නෙ. පළවෙනි ක්‍රමය මතක තියාගන්න වගේම යතුරු කරන්නත් ටිකක් අපහසු උනත් දෙවනි ක්‍රමයෙ මහලොකු අපහසුවක් නෑ කියලයි මට නම් හිතෙන්නෙ.

@කතන්දර කාරයා
මෙහිදී මං ඉදිරිපත් කරලා තියෙන්නෙ උදාහරණ කීපයක් විතරයි. ඔය සිංහල නම් තව එක එක විදියට ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන්, ඒක හරි. ඒකනෙ මෙතන තියන ප්‍රශ්නෙ.
එක එක්කෙනා එක එක විදියට ලියන එක ගැන ඔවුන්ට දොස් පවරන්න බෑ තවම සම්මතයක් හැදිලා නැති නිසා. සම්මතයක් හැදුනොත් හැමෝම ඒ සම්මතයට අනුව ලියාවි.
LacNet එකෙන් යෝජනා කළ සම්මතය ගැන දැනගෙන හිටියෙ නෑ. දැනුවත් කළාට ස්තූතියි!
නමුත් ලිපියෙ සඳහන් පරිදි යම් සම්මතයක් හැදෙනවනම් හැදෙන්න ඕනෙ සැමට පොදු වන ලෙස. (ජාතික මට්ටමින්)

Anonymous said...

මම දන්න තරමින් ඔය කියල තියෙන සංකේතාත්මක අකුරුකියල දාලා තියෙන්නෙ ඉංග්‍රීසි අකුරු නෙවෙයි. වෙනත් ‍යුරෝපීය භාෂාවලට අයත් අකුරු. මේවා ටයිප් කරන්නේ කොහොමද කියල දන්නේ නෑ. දන්න එකම ක්‍රමය alt එක්ක අංක ගහල ලියන ක්‍රමේ. ඕක සම්මත කරගත්ත කියමුකෝ එතකොට කොහොමද ඕක සුද්දෝ කියවන්නෙ උන්ට අපේ standard එක ඉගෙනගන්න කිව්වට වැඩක් වෙන එකක් නෑනෙ. ඊට ලේසියි සිංහලෙන් ලියලා උන්ට සිංහල උගන්වනවා.මෙතන අවශ්‍යතාවය වෙලා තියෙන්නෙ සිංහල නම් ඉංග්‍රීසියෙන් ලිවීමේදී එන ගැටලු නිසා ඒ ගැන අමතක කරමු.

යෝජනා කරල තියෙන අනිත් ක්‍රමේ ගැන කියනවා නම්....
ඒකෙත් ප්‍රායෝගික ගැටලු තියෙනවා.
උදා:-
ඈපාසිංහ--> aaepaasinha--> ආඑපාසිංහ,
අයිරාංගනී--> airaanganee--> ඓරාංගනී

"එක එකා තමන් ගේ නම් යන හැටි ගැන අපිට කළ හැකි දෙයක් නෑ." කතන්දරකාරයාගේ කතාව එක්ක මම ගොඩක් දුරට එකඟ වෙනවා. අපේ මම දන්න කෙනෙක් ඉන්නවා දනුෂ්ක ලියන්නේ danuschke කියල.

ඒත්
• Achala - අචල , අචලා
• Amila - අමිල, අමිලා
• Anoja - අනෝජ, අනෝජා...

වීමට නම් ඒක හොඳ උත්තරයක් නෙවෙයි. එහෙම ලියන්න ක්‍රමයක් තිබුනා නම් හොඳයි කියල මටත් හිතෙනවා.

ධනික | Dhanika said...

@පහන්
මං මෙතනදි කියන්න උත්සහ කරන්නෙ මෙම ව්‍යාකූලතා මගහරවාගන්න යම් සම්මතයක් බිහිවිය යුතුයි යන කාරණය පමණයි. මං කියන්නෙ නෑ එම සම්මතය විය යුත්තෙ මං මේ යෝජනා කරලා තියෙන ක්‍රමයක් කියලා. යෝජනා ඉදිරිපත් කළේ උදාහරණ හැටියට පමණයි.

"සම්මතය සඳහා වඩා සුදුසු ඉහතින් දක්වපු සංකේතාත්මක ඉංග්‍රීසි අකුරු භාවිතයද, නැත්නම් අකුරු සංයෝජන භාවිතයද, එසේත් නැත්නම් ඊටත් වෙනස් වූ ක්‍රමයක්ද කියන එක මෙවැනි සම්මතයක් නිර්මාණය වෙන මතු යම් දවසක තීරණය කරන්නට වේවි.

සම්මතයක් බිහිවෙනවනම් බිහිවෙන්න ඕනෙ ඔබ ඔය කිව්ව ගැටළු සහ ඔබ සහ මම නොදැක්ක වෙනත් ගැටළුත් මගහැරෙන ලෙසයි. වගකිවයුත්තන්ගෙ අවධානය මෙයට යොමු විය යුත්තෙ අන්න එලෙස ගැටළු වලින් තොර සම්මතයක් බිහි කරන්න තමයි.

Meth Visula said...

sms walata unicode athul karoth hoda nadda.............

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails