SETT යුනිකේත විකේතකය: Updates - දැන් Internet Explorer සඳහාත් සහය දක්වයි!

ආයු‍බෝවන්! SETT යුනිකේත විකේතකය ගැන කව්රුත් දන්නවා ඇතිනෙ දැන්. (දන්නැත්තං මේ ලිපිය කියවන්න.) මේ විකේතකය එළිදක්වන මොහෙතෙ එය 100% ක් නිවැරදිව සිංහල පෙළ (text) පෙන්වුවෙ Firefox සහ Safari තුළ පමණයි. නමුත් ඔන්න දැන් මේ විකේතකය Internet Explorer වලත් සාර්ථකව වැඩ! 



IE (Internet Explorer) වල මෙය සාර්ථකව වැඩ කිරීම සිංහල බ්ලොග්කරුවන් සහ සිංහල වෙබ් අඩවි පවත්වාගෙන යන ඔබ‍ට වැදගත් වෙන්නෙ මෙන්න මේ හේතු නිසයි. ලංකාවෙ තිබෙන පරිගණක ගත්තොත් තවමත් අති බහුතර පරිගණක සංඛ්‍යාවක දිවෙන්නෙ Windows XP මෙහෙයුම් පද්ධතිය. ඉතිං ඔය මෙහෙයුම් පද්ධතියත් එක්ක පෙරනිමියෙන්ම (default) එන එකම අන්තර්ජාල ගවේශකය IE පමණයි. පරිගණක දැනුම ඒ හැටි නොමැති ඒත් පරිගණකයෙන් සාමාන්‍ය වැඩ කටයුතු කරගන්න අපේ බොහොමයක් පාඨකයන්ට Firefox හෝ Chrome වැනි වෙනත් ගවේශකයක් ස්ථාපනය (install) කරගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා ඔවුන් අන්තර්ජාල ගවේශනයට යොමු වන මුල්ම අවධියෙ ඔවුන් බොහෝ විට භාවිතා කරන්නෙ Windows XP සමඟ පෙරනිමියෙන්ම එන IE ගවේශකය. ඉතිං එවන් වූ බොහෝ පාඨක පිරිසටත් දැන් පරිගණකයේ සිංහල සහ‍ය නොමැති වුනත් ඔබේ බ්ලොගය හෝ වෙබ් අඩවිය කියවන්න පුළුවන්. 

IE තුළ යුනිකේත විකේතකය මඟින් සිංහල පෙළ පෙන්වන ආකාරය IE හි එක් එක් අනුවාදයන් සඳහා තරමක් වෙනස්. IE 6 අනුවාදයෙදි ඔබේ අඩවියේ ඇති සිංහල පෙළ නිවැරදිව පෙන්නුවත් සිංහල පෙළ සමඟ එකම html ටැගය තුළ ඇති ඉංග්‍රීසි අකුරු පෙන්වන්නෙ නෑ.  මෙයට හේතුව IE 6 තුළ අනෙක් ගවේශක වල මෙන් default fallback font ක්‍රියා නොකිරීමයි. (පහළ රූපයේ 'SETT යුනිකේත විකේතකය' යන්නෙහි SETT යන ඉංග්‍රීසි පෙළ නොපෙනෙන්නෙ මේ හේතුව නිසයි.) නමුත් සිංහලෙන් ඇති සියලු පෙළ සහ ඉංග්‍රීසි පෙළ පමණක් ඇති html ටැග තුළ ඇති ඉංග්‍රීසි පෙළ IE 6 තුළ නිවැරදිව පේනවා. 

Windows XP මත IE 6 තුළ SETT යුනි‍කේත විකේතය මඟින් සිංහල පෙන්වන අයුරු


IE 7 ට ඉහල අනුවාදයන්ගේ ක්‍රියාකාරීත්වය බොහෝ දුරට සමානයි. IE 6 තුළ‍ නොමැති default fallback font ක්‍රියාකාරීත්වය IE 7 ට ඉහළ අනුවාදයන්ගෙ තියෙනවා. ඒ නිසා සිංහල පෙළ සමඟ එකම html ටැගයේ ඇති ඉංග්‍රීසි පෙළ පවා කිසිම අවුලක් නැතුව පේනවා.  ඉහල රූපයේ SETT යන ඉංග්‍රීසි පෙළ නොපෙනුනත් පහල රූප දෙකේ IE 7 සහ IE 8 තුළ එම SETT යන ඉංග්‍රීසි පෙළ දිස්වෙනවා ඔබට පෙනේවි.

Windows XP මත IE 7 තුළ SETT යුනි‍කේත විකේතය මඟින් සිංහල පෙන්වන අයුරු

Windows XP මත IE 8 තුළ SETT යුනි‍කේත විකේතය මඟින් සිංහල පෙන්වන අයුරු


ඉතිං කොහොමනමුත් සිංහල පෙන්වීමේ සුළු සුළු දෝෂයන් IE තුළ තවමත් තිබෙනවා. රකාරාංශය, යන්ශය සහ රේපය නොපෙනීමත් කු, තු වැනි අකුරු වලදී යෙදෙන පාපිල්ල නිවැරදි ලෙස නොපෙනීමත් ඉන් සමහරක්. නමුත් සිංහල පෙන්වීමේ දෝෂයන් (rendering errors) අතරින් වඩාත් කරදකාරී දෝෂයන් වන කොම්බුව ඉදිරියෙන් පෙන්වීමේ අවුලත් ට්, ඩ් වැනි අකුරු වල අල් ලකුණ අකුරට බද්ධ කිරීමේ අවුලත් ටි, ඩි වැනි අකුරු වල ඉස්පිල්ල අකුරට බැඳීමේ අවුලත් මෙහිදී විසඳා තිබෙනවා. දැනට තිබෙන සුළු සුළු දෝෂ පවා ඉදිරියෙදි විස‍ඳේවි. (බඩගාලා, දණගාලා එපැයි නැගිටින්න...)

Firefox තුළ නම් ඕනෑම පරිගණකයක ඕනෑම මෙහෙයුම් පද්ධතියක් තුළ කිසිම අවුලක් නැතුව 100% ක් නිවැරදිව සිංහල පෙන්වන බව සහතික වෙන්න පුළුවන්.  Windows XP මෙහෙයුම් පද්ධතිය මත Firefox තුළ සිංහල පෙන්වන ආකාරය පහත රූපයෙන් බලාගන්න පුළුවන්.

Windows XP මත Firefox 3.5 තුළ SETT යුනි‍කේත විකේතය මඟින් සිංහල පෙන්වන අයුරු

Chrome සඳහා සහය දැක්වීම ගැන කතා කළොත් එහි හැසිරීම මෙහෙයුම් පද්ධතිය මත රඳනවා. Linux (පරීක්ෂා කළේ සිංහල සහය නොදැක්වූ Ubuntu අනුවාදයක) වලදි සහ MacOS වලදී Chrome තුළ පවා SETT විකේතකය 100% ක් නිවැරදිව Firefox වලදී මෙන්ම වැඩ කරනවා. නමුත් Windows XP වලදි එහි ක්‍රියාකාරීත්වය වෙනස්. Windows XP වල Chrome තුළ ඇතැම් සිංහල අකුරු ඇතැම් ස්ථාන වලදි (මාතෘකා වලදී වැනි) පෙනෙන්නෙ නැහැ. පහත රූප 2 විශාල කර බැලුවොත් ඔබට පෙනෙයි අඩවියේ සිරස්තලයේ සහ ලිපි මාතෘකාවේ පමණක් ඇතැම් අකුරු නොපෙනෙන බව. අනෙක් ගැටළුව, එක් එක් අකුරු සඳහා අසාමාන්‍ය ලෙස ඉඩ වැඩි වීමයි. (Kerning අවුලක්) කොහොමනමුත් ඉදිරියෙදි මේ ගැටළුවත් විසඳී Chrome සඳහාත් පූර්ණ සහය දක්වන මට්ටමට මෙම විකේතකය ගෙන එන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

Windows XP මත Chrome තුළ SETT යුනි‍කේත විකේතය මඟින් සිංහල පෙන්වන අයුරු 1


Windows XP මත Chrome තුළ SETT යුනි‍කේත විකේතය මඟින් සිංහල පෙන්වන අයුරු 2


මේ ලිපිය ‍ලියන මොහොත වන විට SETT යුනිකේත විකේතකයේ සහය දැක්වීම පහත ලෙස සාරාංශ කර දක්වන්න පුළුවන්.
  • Firefox 3.5+ : ඕනෑම ගවේශකයක - සිංහල 100% ක් නිවැරදිව පෙනෙයි, දෝෂ නැත
  • IE6 : Windows XP - සිංහල නිවැරදිව පෙනෙයි, සුළු දෝෂ ඇත, ඉංග්‍රීසි නොපෙනෙයි
  • IE7+ : Windows XP - සිංහල නිවැරදිව පෙනෙයි, සුළු දෝෂ ඇත
  • Chrome 4+ : Linux - සිංහල 100% ක් නිවැරදිව පෙනෙයි, දෝෂ නැත
  • Chrome 4+ : MacOS - සිංහල 100% ක් නිවැරදිව පෙනෙයි, දෝෂ නැත
  • Chrome 4+ : Windows XP - සිංහල පෙනෙයි, ඇතැම් අකුරු නොපෙනෙයි
  • Safari 3.2+ : MacOS - සිංහල නිවැරදිව පෙනෙයි
  • Safari : iOS - සිංහල නිවැරදිව පෙනෙයි

IE සඳහා සහය දැක්වීම වෙනුවෙන් කළ මේ ලොකු වෙනස්කමට අමතරව, SETT විකේතකය එළදැක්වීමෙන් පසු ලැබුනු පරිශීලක ප්‍රතිචාර මත මෙහි සුළු සුළු දෝෂ විසඳමින් වෙනස්කම් ගොඩක් පසුගිය දින වල සිදුකළා. ඉන් ඔබ‍ට වැදගත් වන ප්‍රධාන වැඩිදියුණු කිරීම් ටික විතරක් මෙහි සඳහන් කරන්නම්.

  1. මුලදි විකේතකය මඟින් පාඨක පරිගණකයේ සිංහල සහය නැති බව හඳුනා ගැනුනෙ සම්පූර්ණයෙන් සිංහල සහය නොමැති නම් පමණයි. ඒත් දැන් සිංහල යුනිකෝඩ් ෆෝන්ටයක් පමණක් ස්ථාපනය කරගෙන ඇති, නමුත් සිංහල‍ පෙන්වීමේ (rendering) දෝෂ ඇති පරිගණක පවා විකේතකයෙන් හඳුනාගන්නවා. එමනිසා ‍ෆෝන්ටය පමණක් ස්ථාපනය කරගෙන ඇති පාඨකයන්ට වුනත් දැන් මේ විකේතකයේ ආධාරයෙන් ඔබේ අඩවිය පහසුවෙන් නිවැරදිව කියවන්න පුළුවන්.
  2. Opera Mini ජංගම ගවේශකය තුළ bitmap fonts භාවිතයෙන් සිංහල කියවන්නන්ට SETT විකේතකය නිසා එලෙස කියවීම අපහසු වී තිබුනා. ඒත් දැන් විකේතකය Opera Mini ගවේශකය හඳුනාගත් විගස විකේතකයේ ක්‍රියාකාරීත්වය නවතා දමනවා. එමනිසා දැන් Opera Mini තුළින් සිංහල අඩවි කියවූ පාඨකයන්ට SETT විකේතකයෙන් කිසිම බාධාවක් නෑ.
  3. Windows 7 තුළ Malithi Web ෆොන්ටයෙන් සිංහල භාවිතා කරන්නන්ගෙ පරිගණකවල සිංහල සහය නොමැති ලෙස වැරදි ලෙස හඳුනාගැනීමේ දෝෂයක් තිබුණා. ඒ දෝෂයත් නිවැරදි කළා.
  4. දෝෂ නිවැරදි කිරීම් වලට අමතරව SETT විකේතකයෙන් සිංහල පෙන්වී‍මේ වේගය වැඩි කරනු ලැබුවා. මුලදි ඔබේ අඩවිය පාඨකයාගේ ගවේශකය තුළට පූරණය (load) වීමෙන් පසු සිංහල නිවැරදිව දිස් වීමට තත්පර 8-12 අතර කාලයක් ගතවුනා. ඒත් දැන් ඔබේ අඩවිය ගවේශකයට පූරණය (load) වී තත්පර 4-8 තුළ සිංහල නිවැරදිව පෙන්නනවා. (මෙම කාලයන් ඔබේ අඩවිය මත රඳා පවතිනවා. ඔබේ අඩවියෙ Javascript විජට්ටු සහ එවැනි අමතර දෑ වැඩි නම් සිංහල පෙනීමට ගතවෙන කාලය වැඩියි.)
ඉතිං මෙම විකේතකය එළිදැක්වීමෙන් පසු එය පරීක්ෂා කර දෝෂ වාර්තා කළ සියලුම දෙනාටත් එම දෝෂ නිවැරදි කිරීම සඳහා පරීක්ෂණ කටුයුතු සිදුකළ සියළුම දෙනාටත් ස්තූතිවන්ත වෙනවා.  පහුගිය දිනවලදි මෙ‍හි වැඩිදියුණු කිරීම් ගණනාවක් සිදුකළ නිසා නැවතත් පරීක්ෂණ කරලා මෙහි ඇති දෝෂ වාර්තා කරන ලෙස ඔබ හැමෝගෙන්ම කාරුණීකව ඉල්ලා සිටිනවා. දෝෂ වාර්තා කිරීම සඳහා ඔබට පහත සබැඳියේ ඇති දෝෂ වාර්තා කිරීමේ පිටුවට යන්න පුළුවන්. (නැත්නම් මෙම ලිපියෙහි ප්‍රතිචාර ලෙස එක් කරන්න පුළුවන්)

SETT යුනිකේත විකේතකයේ දෝෂ මෙහි වාර්තා කරන්න

මේ විජෙට්ටුව එළිදක්වලා සති 3 ක් ගතවෙනකොට, අද වන විට මෙම විකේතකය සිංහල අඩවි 312 කට ඇතුලත් කරගෙන හමාරයි. ඒ ගැන නම් සෑහෙන්න සතුටුයි!  ඉතිං මේ විජෙට්ටුව ගැන සහ එය නිමැවූ මා ගැන විශ්වාසය තබා මෙම විජෙට්ටුව තමන්ගෙ අඩවියට ඇතුලත් කරගත් ඔබ හැමටම ස්තූතිවන්ත වෙනවා. 

අවසාන වශයෙන් මේ ටිකත් කියන්න‍ ඕනෙ. මෙය අපේ විජෙට්ටුවක්. ශ්‍රී ලාංකිකයන්ගෙ විජෙට්ටුවක්. ඉතිං මෙය වැඩිදියුණු කරගන්න ඕනෙත් අපිමයි. මෙය වැඩිදියුණු කරගන්න ඔබ සියලු දෙනාගෙ සහයත් මට ලැබුනොත් වැඩි කල් යන්න කලින් සිංහල සහය ඇති නැති ඕනෑම පරිගණකයක, ඕනෑම මෙහෙයුම් පද්ධතියක සහ ඕනෑම වෙබ් ගවේෂකයක 100% ක් නිවැරදිව අපේ සිංහල අඩවි පෙන්වන්න අපට පුළුවන් වෙයි. රජ්‍ය වෙබ් අඩවි සහ සියලුම සිංහල වෙබ් අඩවි වලට මෙය අනිවාර්යෙන් ඇතුලත් කරවිය යුතු විජෙට්ටුවක් කරන්නත් පුළුවන් වෙයි. එහෙම කළ දාක ශ්‍රී ලාංකික සැමට භාෂා බාධාවක් හෝ පරිගණක සහය දැක්වීමේ බාධාවක් වැනි කිසිඳු බාධාවක් නොමැතිව අන්තර්ජායේ ඇති සිංහල දැනුම ලබාගන්නත් සිංහලෙන් සේවා ලබාගන්නත් පුළුවන් වේවි! එදාට අපි සියළුම දෙනාට ඒ ගැන අප්‍රමාණව සතුටු වෙන්න පුළුවන් වේවි! 

ඔබ‍ට ජය! සිරිලකට ජය!!

Post a Comment

13 යි ප්‍රතිචාර

අලුත් කොල්ලා | The New Guy said...

එළ මචං. ජයෙන් ජය වේවා.

හිස් අහස said...

මේ තරම් වටිනා නිර්මාණයක් සිදුකළ ඔබට බොහෝම ස්තූතියි !!

ධනික | Dhanika said...

@අළුත් කොල්ලා
ස්තූතියි මචං! ජය වේවා!

@හිස් අහස
ඔබේ ප්‍රතිචාරයටත් බොහොම ස්තූතියි! ඒත් මෙහි වටිනාකම තේරෙන්නෙ අන්තර්ජාලය තුළ සිංහලකරණයේ යෙදෙන අපිට පමණක් වීම නම් සෑහෙන්න කණගාටුවට කරුණක්. ගොඩක් අයට ඇයි මෙහෙම දෙයක් ඕන වෙන්නෙ කියලවත් තේරුමක් නෑ. :(

Anonymous said...

ඔහොම යමු. සුභ ගමන්...

E info LK said...

ඔහොම යමු
බොහෝම ස්තූතියි !!

දුමී said...

ධනික මල්ලි. මේක සිරාම සිරා වැඩක්. ඔයා වගේ වැඩ කාරයෝ තමයි අපිට ලංකාවට ඕන වෙන්නෙ. ජයෙන් ජය...!

ධනික | Dhanika said...

@dugiya
ස්තූතියි!

@ලහිරු රාමනායක
ප්‍රතිචාරයටත් බොහොම ස්තූතියි!

@දුමී
ස්තූතියි අයියෙ! අපෝ මං එච්චර වැඩකාරයෙක් නෙමෙයි. මට වඩා වැඩකාරයො ඕනතරම් තව ලංකාවෙ ඉන්නවා. අවුල තියෙන්නෙ ඒ අය වැඩ පෙන්නන්නැති එක. :P

දුමින්ද කවිරංග ගුණවර්ධන said...

මචන් UBUNTU 10.04,10.10 වලදී මෙහෙම වැඩක් කරන්න පුලුවන්.මම මේ ක්‍රමය අත්හදා බලපු නිසයි කියන්නේ.usb pendrive එකකට http://www.locallanguages.lk/sinhala_unicode_converters link එකෙන් කැමති unicode font එකක් බාලා ඒක ubuntu run වෙන පරිගණයකයකට සවිකරන්න.අදාල ෆොන්ටය (උදා:-Malithi web) මත double click කරන්න. එවිට inastall font සංවාද කො‍ටුව එනවා.එතන install font බොත්තම මත click කරන්න. එවිට අදාල යුනිකේත ෆොන්ටය ubuntu මත ස්ථාපනය වනවා.ඊට පස්සේ firefox brwoser එක refresh කරන්න . බොහෝවිට හරියයි.
http://kaviranga.blogspot.com/2010/02/blog-post.html

ඉන්දික said...

ධනික සහෝ..නිහඩ වැඩකරුවන්ගෙන් පළක් නෑ..හඬ නගමින් වැඩ පෙන්විය යුතුයි..නැතිනම් අන්‍යයන් වැඩගන්නෙ කොහොමද?
ඔබට ජය!

ධනික | Dhanika said...

@දුමින්ද කවිරංග ගුණවර්ධන
ඔයාට පොඩ්ඩක් වැරදිලා වගේ මචෝ. මෙම විකේතකයෙන් වෙන්නෙ සිංහල නැති පරිගණක වලට සිංහල ස්ථාපනය කිරීමක් වැනි දෙයක් නෙමෙයි. මෙම විකේතකයෙන් වෙන්නෙ වෙන වැඩක්. මේ විකේතකයෙන් අපිට අපේ බ්ලොග් අඩවි/වෙබ් අඩවි සිංහල සහය ඇති/නැති ඕනෑම ‍පරිගණකයකින් කියවිය හැකි කරවන්න පුළුවන්. මේ ගැන තව දැනගන්න මේ ලිපිය කියවන්න.

@ඉන්දික
ඒක නම් ඇත්ත මචෝ.. ස්තූතියි!

sameera said...

wow niyamai. thanks.

Unknown said...

මේ මාසේ පරිගණක සගරාවේ මේ ගැන දාල තිබුනා 17 වෙනි පිටුවෙ
http://imageshack.us/f/849/img20110603205252.jpg/

ධනික | Dhanika said...

@sameera udayanga
‍බොහොම ස්තූතියි!

@බිඟු...!
ස්තූතියි!

@Akhila
බොහොම ස්තූතියි මේ ගැන කිව්වට සහ photo එකක් ගහලා ලින්ක් එක දුන්නට! මේ ස‍ටහනේ නිර්මාපක ගැන කිසිඳු සඳහනක් නැතත්, බොහොම සතුටුයි මේ විදියටහරි මහජනතාව මේ පිළිබඳව දැනගන්නවනම්.

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails