මානවයා.lk ~ සිංහල ජෛව විකි අඩවිය එළිදැක්වේ! | Manavaya.lk ~ Sinhala Bio-Wiki Site is launched!



පසුගියදා මොරටුව සරසවියේදී පැවැත්වුනු EXMO 2010 මැවිසුරු ප්‍රදර්ශනයේදී මානවයා.lk ~ සිංහල ජෛව විකි අඩවිය (http://www.manavaya.lk) සාර්ථකව එළිදැක්වුනා. ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටි අති විශාල ජනකායගෙන් බොහෝදෙනෙකුගෙන්ම විශේෂයෙන්ම පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන්, ගුරුවර ගුරුවරි‍යන්ගෙන් වගේම බොහෝ වැඩිහිටියන්ගෙන් මෙම අඩවිය සඳහා සෑහෙන හොඳ ප්‍රතිචාර ලැබුනා. ඉතිං මේ ලිපිය ලියැවෙන්නෙ මෙලෙස පසුගියදා එළිදැක්වුනු මානවයා.lk ~ සිංහල ජෛව විකි අඩවිය පිළිබඳ ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන්නට නොහැකි වුනු ඔබ සැමව දැනුවත් කරන්නයි.





මානවයා.lk යනු සිංහලෙන් දැනුම ලබාගත හැකි අඩවියක්...
  • මානවයා.lk අඩවිය මඟින් අපිට අපේ මිනිස් සිරුරේ අවයව ගැන, පද්ධති ගැන, ඒ වගේම මිනිසාට වැළඳෙන ලෙඩරෝග, ඒවාට යෙදිය හැකි බෙහෙත්හේත්, ප්‍රථමාධාර, බටහිර වෛද්‍යක්‍රම සහ දේශිය වෛද්‍ය ක්‍රම වගේ වෛද්‍යමය තොරතුරු ගැනත්, අපේ ජීවිතේ නොයෙක් අවදීන් වලදි අප විසින් පිළිපැදිය යුතු යහපත් ‍සෞඛ්‍ය පුරුදු වැනි සෞඛ්‍යමය තොරතුරු ගැනත් සිංහලෙන් තොරතුරු ලබාගන්න පුළුවන්.

මානවයා.lk යනු විකි අඩවියක්...
  • මෙම අඩවිය නිර්මාණය කරලා තියෙන්නෙ විකිපීඩියාව වැනි විකි අඩවියක් ලෙසයි. ඒ කියන්නේ මේ සිංහල අඩවියෙන් ඕනෑම කෙනෙකුට තොරතුරු ලබාගන්න පුළුවන් විතරක් නෙමෙයි, දැනුම ඇති ඕනෑම අයෙකුට මේ සඳහා තොරතුරු එකතු කරන්නත් පුළුවන්. නමුත් යම් කෙනෙකුට මේ සඳහා නිරවද්‍ය නොවන තොරතුරුත් එක් කිරීමේ ඉඩකඩක් ඇති නිසා අන්අය එක් කරන තොරතුරු අඩවියේ පළ වෙන්නෙ වෛද්‍ය වරයෙකුගේ අධීක්ෂණයෙන් පසුවයි.

මානවයා.lk හි දැනුම ඇත්තෙ සිංහලෙන්... ඒත් සැරිසැරීම කැමති භාෂාවකින්....
  • මානවයා.lk අඩවියෙහි දැනුම් අන්තර්ගතයන් සියල්ල ඇතිතෙ සිංහලෙ භාෂාවෙන් වුනත් අඩවියේ සැරිසැරීම සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් කැමති භාෂාවකින් සිදුකරන්න පුළුවන්. ඒ පහසුකම ලබාදෙන්නෙ මේ නිසයි. පරිගණක සම්බන්ධයෙන් භාවිතා වන සිංහල පාරිභාෂික වචන තාම අපේ සිංහ‍ලයන්ට වුනත් නුහුරුයි. ඉතිං ඒ නිසා සමහරක් අයට අඩවියේ මෙනූ, මොඩුයුල වගේ අඩවිය තුළ සැරිසැරීමට අවශ්‍ය වන දේවල් සිංහලෙන් භාවිත කිරීමට වඩා ඉංග්‍රීසියෙන් භාවිතා කිරීම පහසු වෙන්න පුළුවන්. මේ නිසා අඩවිය තුළ සැරිසැරීම සිංහලෙන් කරන්න කැමති අයට සිංහලෙනුත්, ඉංග්‍රීසියෙන් කරන්න කැමති අයට ඉංග්‍රීසියෙනුත් කරන්න පහසුකම සලසා දි තිබෙනවා. නමුත් ඔබ කුමන භාෂාවකින් අඩවිය තුළ සැරිසැරුවත් දැනුම් අන්තර්ගතයන් සියල්ල ඇත්තේ සිංහලෙන්.

මානවයා.lk තුළින් සිංහලෙන් තොරතුරු ලබාගන්න සිංහලෙන් ටයිප් කරලා search කරන්න අවශ්‍ය නෑ...
  • අන්තර්ජාලයේ ඇති සිංහල දැනුම අපේ සිංහල ජනතාවට ලබාගන්න බැරිවෙලා තියෙන එක් හේතුවක් තමයි සිංලෙන් ටයිප් කරන්න ඇති නොහැකියාව. මොකද Google හෝ වෙනත් සෙවුම් යන්ත්‍රයකින් අපිට search කරලා සිංහලෙන් යම් තොරතුරක් ලබාගන්න අවශ්‍ය නම් අපේ ඒ සොයන්න අවශ්‍ය දේ සිංහල යුනිකෝඩයෙන්ම ටයිප් කරලා search කළ යුතුයි. නමුත් බොහෝ දෙනෙක්ට සිංහලෙන් ටයිප් කරන්න නොහැකි වීම නිසා සිංහලෙන් search කරන්න පෙ‍ළඹෙනවා අඩුයි. මේ නිසා අන්තර්ජාලයේ සිංහලෙන් දැනුම තිබුණත් ඒ දැනුම ලබාගත නොහැකි වෙලයි තිබෙන්නෙ.
  • නමුත් මානවයා.lk අඩවිය තුළ ඔබට යම් තොරතුරක් සිංහලෙන් ලබාගන්න, සිංහලෙන් ටයිප් කරලා search කිරීම අත්‍යවශ්‍ය නෑ. ඔබට ඔබ සොයන දෙය ඉංග්‍රීසි අකුරු වලින් හෝ එහි ඉංග්‍රීසි නමින් හෝ ටයිප් කරලා search කිරීමෙන් ඒ පිළිබඳ සිංහලෙන් දැනුම ලබාගන්න පුළුවන්. උදාහරණයක් ලෙස හිතන්න ඔබට මොළය පිළිබඳ සිංහලෙන් තොරතුරු ලබාගන්න අවශ්‍යයි කියලා. ඒ සඳහා ඔබට මානවයා.lk තුළ 'මොළය' හෝ 'මොලය' ලෙස සිංහලෙන් ටයිප් කරලා search කිරීම අත්‍යවශ්‍ය නෑ. (එහෙම කරන්න වුනත් පුළුවන්) ඒ වෙනුවට ඔබට පුළුවන් ඉංග්‍රීසි අකුරු වලින් 'molaya', 'mole' හෝ 'brain' ලෙස search කරන්න. එලෙස search කළත් ඔබට 'මොළය'ට අදාළ විකි පිටුව සෙවුම් ප්‍රතිඵල වල දැකගන්න පුළුවන්. මෙහි වාසිය නම් සිංහලෙන් ටයිප් කරන්න නොහැකි කෙනෙක්ට වුනත් මානවයා.lk තුළ මේ විදියට search කරලා සිංහලෙන් තොරතුරු ලබාගන්න පුළුවන් වීමයි.

ඉදිරියෙදි මානවයා.lk තුළින්...
  • ඉදිරියෙදි මානවයා.lk තුළ ඔබේ වෛද්‍යමය සහ සෞඛ්‍යමය ගැටළු වලට සිංහලෙන් විසඳුම් ලබාදෙන සිංහල වෛද්‍ය ෆෝරමයක් දිගහැරීමට නියමිතයි. ස්වෙච්ඡා වෛද්‍යවරුන්ගේ සහ වෛද්‍ය ශිෂ්‍යයන්ගේ සහයෙන් තමයි මේ කාර්යය දියත් වීමට නියමිතව තිබෙන්නෙ.
  • මානවයා.lk හි ඇති දැනුම් සම්පත් වන විකි පිටු වලට අමතරව වෛද්‍යවරුන් විසින් සම්පාදනය කරන කාලීන වෛද්‍ය ලිපි ද පළ කිරීමට නියමිතයි. මේ හරහා කාලීන සෞඛ්‍ය ගැටළු පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමටයි බලාපොරොත්තු වන්නෙ.

පෙර පැවති මානවයා පරිගණක වැඩසටහන සිංහල විකි අඩවියක් බවට පත් කළේ...
  • මීට වසරකට පමණ පෙර ශ්‍රී ලංකා පාසල් ජාලය විසින් පාසැල් දරුදැරියන්ට නොමිලේ ලබාදුන් 'මානවයා' පරිගණක වැඩසටහන සිංහල විකි අඩවියක් බවට පත්ක‍ළේ මෙන්න මේ හේතු 2 නිසයි. පරිගණක වැඩසටහනක් ලෙස එය ඇති විට ඉන් දැනුම ලබාගැනීමට අවශ්‍ය අයෙකුට එය තම පරිගණකයේ ස්ථාපනය කරගැනීම අත්‍යවශ්‍ය වෙනවා. අනෙක් කාරණය එහි ඇති දැනුම ඉන් එහාට වැඩිවර්ධනය වීමක් නොවී ඊටම සීමා වෙනවා. නමුත් මෙය සිංහල යුනිකෝඩයෙන් සිංහල විකි අඩවියක් ලෙස නිර්මාණය කළ පසු ඕනෑම අයෙකුට ඕනෑම විටෙක අන්තර්ජාලය ඔස්සේ මේ දැනුම ලබාගත හැකි වෙනවා වගේම විකි අඩවියක් ලෙස නිර්මාණය කිරීම නිසා සිංහල ප්‍රජාවගේ ප්‍රජා ව්‍යාපෘතියක් ලෙස මෙහි දැනුම වැඩිවර්ධනය කිරීමටත් හැකියාව ලැබෙනවා.‍

මානවයා.lk වෙත ඔබේ දායකත්වය අවශ්‍යයි...
  • මානවයා.lk අඩවිය විකි අඩවියක් නිසාවෙන් මෙහි අන්තර්ගත දැනුම් සංහාරය වැඩිදියුණු කිරීමට ඔබටත් දායක විය හැකියි. දැනට මේ විකි අඩවිය සතුව පවතින්නෙ මිනිස් සිරුරේ පද්ධති 8 හි ඇති අවයව 46 ක් පිළිබඳ සිංහල රූපසටහන් සහ තොරතුරු පමණයි. ලෙඩරෝග, බෙහෙත්හේත්, සහ අනෙකුත් අවයව පිළිබඳ දැනුම එක්කිරීමට ඔබගේ දායකත්වය බලාපොරොත්තු වෙනවා.
  • ගැටළුව වී ඇත්තේ විෂය පිළිබඳ දැනුමැති බොහෝඅයට සිංහලෙන් ටයිප් කළ නොහැකි වීමත්, සිංහලෙන් ටයිප් කළ හැකි බොහෝ අයට විෂය පිළිබඳ දැනුමක් නොමැතිවීමත්. නමුත් දැනටමත් සිංහල බ්ලොග්කරණයට යොමු වීම නිසා සිංහලෙන් ටයිප් කිරීම ගැටළුවක් නොවන වෛද්‍යවරුන්, හෙද හෙදියන්, වෛද්‍ය ශිෂ්‍යයන්ට නම් මේ සඳහා දැක්විය හැකි දායකත්වය අමිලයි. එම නිසා එවන් අය සිටී නම් මේ සඳහා ඔබේ දායකත්වය ලබාදීමට ඉදිරිපත් වන ලෙස ඉතා ගෞරවයෙන් ඇරයුම් කරන්න කැමතියි.
  • මේ සඳහා දායක වෙමින් ශ්‍රී ලාංකීය සිංහල ජනතාවගේ වෛද්‍යමය සහ සෞඛ්‍යමය දැනුම වර්ධනය කිරීමට දායක වන ඔබට ජාතියේ ගෞරවය සහ ස්තූතිය අනිවාර්යෙන්ම පිරිනැමෙනවා.

ප්‍රදර්ශණය නැරඹීමට පැමිණ සිටි පිරිසව මානවයා.lk ~ සිංහල ජෛව විකි අඩවිය ගැන දැනුවත් කරමින්...

(ප්‍රදර්ශණ කුටියේ ඝෝෂාකාරී බව නිසා විස්තර කිරීම හරිහැටි නොඇසීම පිළිබඳ කණගාටුව!
රූපගත කිරීම පිළිබඳ හිරන්ත සුභසිංහ සොයුරාට ස්තූතිය!)


මානවයා.lk අඩවිය එළිදැක්වීම සඳහා සහයෝගය ලබාදුන් සැමට ස්තූතිය!
  • මානවයා.lk ~ සිංහල ජෛව විකි අඩවිය EXMO 2010 ප්‍රදර්ශණය සඳහා ඉදිරිපත් කිරීමට අවසර ලබා දුන් මොරටුව සරසවි පරිගණක විද්‍යා හා මැවිසුරු අධ්‍යනාංශයේ අධ්‍යයනාංශාධිපතිනි විශාකා නානායක්කාර මහත්මියටත්, වසම් නාමය ලබා දෙමින් මේ සඳහා පූර්ණ ස‍හයෝගය දැක්වූ LK වසම් ලේකඛාධිකාරයේ ප්‍රධානී මහාචාර්ය ගිහාන් ඩයස් මහතාටත්, මේ සඳහා අන්තර්ජාල ඉඩකඩ සපයමින් සහ නිරතුරු මෙම ව්‍යාපෘතිය පිළිබඳ සොයාබලමින් ඒ සඳහා උපරිම දායකත්වයක් සැපයූ ශ්‍රී ලංකා පාසල් ජාලයේ ප්‍රධානී ආචාර්ය අජිත් පැස්කුවල් මහතාටත් මාගේ විශේෂ ස්තූතිය පිරිනැමෙනවා.
  • එමෙන්ම මෙම අඩවිය එළිදැක්වීම සඳහා නන් අයුරින් සහය වුනු තනෝජා රාජපක්ෂ මහත්මියටත් අඩවියේ දැනුම් අන්තර්ගත අධීක්ෂණය සඳහා දායකත්වය ලබාදීමට කැමැත්ත පළ කළ වෛද්‍ය සරත් ගුණතුංග මහතාටත් තාක්ෂණිකව මේ සඳහා උපකාර කළ මනුරංග පෙරේරා සහ පියුම් ප්‍රනාන්දු යන සොයුරන් දෙපළටත්, ප්‍රදර්ශණය පැවති දින 3 දී මෙම අඩවිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට මා හට සහයෝගය ලබා දුන් සුමේධ සංජීව සහ ශමීර රත්නායක යන සොයුරන් දෙපළටත් මාගේ ස්තූතිය පිරිනැමෙනවා.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ දිගුකාලීන ව්‍යාපෘතියක් ලෙසයි. දැනට මේ අඩවිය සතු දැනුම් අන්තර්ගතය සීමිත වුනත් අද මෙවන් අඩවියක් ආරම්භ කළොත් දිනෙන් දින අපේ සිංහල ප්‍රජාවගේ දායකත්වයෙන් මෙහි අන්තර්ගතය වැඩිවර්ධනය වී තව වසර ගණනකින් පසුව හෝ මේ තුළ අපට අපේ වෛද්‍යමය හා සෞඛ්‍යමය දැනුම වර්ධනය කරගත හැකි විශාල දැනුම් අන්තර්ගතයක් දැක ගත හැකි වේවි. අද මෙය ප්‍රයෝජනවත් දෙයක් ලෙස නොසිතෙන කෙනෙකුට වුවද එදිනට මෙහි ප්‍රයෝජන අත්විඳින්නට හැකි වේවි.

එවන් දිනක අපේ මතු පරපුරට වුවද මෙහි ඵල ප්‍රයෝජන අත්විඳීමට සැලැස්වීමට නම් අප අද සිටම මෙහි වැඩිවර්ධනය සඳහා දායකත්වය දැක්විය යුතුය. සිංහලයාගේ අභිවෘදිය සඳහා වෙහෙසිය යුත්තේ සිංහලයාම නිසා ඔබත් මමත් අද සිටම මේ සඳහා හැකි අයුරින් දායකත්වය දක්වමු. විෂය කරුණු එක් කිරීමට නොහැකි වුවත් එවැනි හැකියාවක් ඇත්තන්ව මේ සඳහා යොමු කරවමින් මේ සඳහා දායක වෙමු. සිසු දරු දැරියන්ව සහ ගුරුවර ගුරුවරියන්ව මේ පිළිබඳව දැනුවත් කරවමු. විෂය පිළිබඳ දැනුමැති අයට මේ සඳහා දායක වීමට අවශ්‍ය පරිගණක දැනුම සපයා දෙමු. ‍‍

එවිට අපටද අප ශ්‍රී ලාංකීය සිංහල ජනතාවගේ වෛද්‍යමය සහ සෞඛ්‍යමය දැනුම වැඩිවර්ධනය කිරීම සඳහා අප දැක්වූ දායකත්වය ගැන මතු යම් දිනෙක සතුටු විය හැකිවනු ඇත.‍


    21 යි ප්‍රතිචාර

    Anonymous said...

    බොහෝම ස්තූතියි මේ ගැන අපිව දැනුවත් කලාට.

    ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri) said...

    එල එල අයියේ, මාත් මේකට බැල්ම දාලා ගියේ exmo වලදී, ඔයා එවෙලේ හිටියේ නෑ :D

    software එක කොහොම හරි web site එකක්ම උනා නේද? මගේ උණුසුම් සුභ පැතුම් :)

    ධනික | Dhanika said...

    @kasunge
    ඔයාගෙ ප්‍රතිචාරෙටත් බොහොම ස්තූතියි මල්ලි!

    @ඉශාන් තිළිණ
    සුභපැතුමට ස්තූතියි මල්ලි!
    දවස් 3 ම මට මේක එක දිගට present කරන්න බෑනෙ. ඉතිං අපේ සුමේධයි ශමීරයි තමයි මට උදව් කලේ මේක present කරන්න. මල්ලි එන්න ඇත්තෙ ඒ දෙන්නගෙන් එක්කෙනෙක් හිටපු වෙලාවක වෙන්න ඇති. :)

    සරත් ගුණතුංග said...

    බොහොම හොඳයි. මම සම්පූර්ණ සහයෝගය දෙනවා.

    ධනික | Dhanika said...

    @සරත් ගුණතුංග
    ඔබ මේ සඳහා දක්වන සහයෝගයට ඔබට බොහොම ස්තූතියි වෛද්‍ය තුමෙනි!

    Unknown said...

    මානවයා.lk සංකල්පයේ ඉදන් අවසානය දක්වා සර්ව සම්පූර්ණයි. සිරාවට කරල තියනවා. මේ වගේ තවත් වැඩ කරන්න අපෙන් ගට

    ධනික | Dhanika said...

    @Chamika
    බො‍හොම ස්තූතියි!

    තීර්ථ යාත්‍රිකයා said...

    සුභ පැතුම් සහෝදරයා...

    ධනික | Dhanika said...

    @තීර්ථ යාත්‍රිකයා
    ස්තූතියි සහෝදරයා...!

    C0de BlUe said...

    සුභ පැතුම් අයියා , මමත් පුලුපුලුවන් විදිහට සප් එක දෙන්නම් .. ජය !!

    ධනික | Dhanika said...

    @Unknown_User/හිඟන්නා
    බොහොම ස්තූතියි මල්ලි! මේකෙ අන්තර්ගය වැඩිදියුණු කරන්න පුළුවන්කමක් තියෙනවනම් හැකි අයුරින් දායක වෙන්න. මල්ලිටත් ජය!

    Anonymous said...

    නියමයි අයියෙ..අපි අනිව සප් එක දෙන්නම්

    Pulasthi Wickramasinghe said...

    Sira wadak meka udiriyath karagena yanna mulu sthinma suba prarthana karanawa :)

    ධනික | Dhanika said...

    @Hasitha ජයසූරිය
    බොහොම ස්තූතියි මල්ලි!

    @pulasthiblog
    ස්තූතියි මචෝ...!

    Geeth Nuwan said...

    සුබපැතුම්...!

    Anonymous said...

    ඒළ අය්යේ එළ
    සුභ පැතුම්!..

    Karvin Mendis said...

    නියම වඇ..ඩැක්, දිරිය අපෙන්!

    ධනික | Dhanika said...

    @ගීත් | Geeth
    ස්තූතියි!

    @මනුශාන්
    ස්තූතියි මලයණ්ඩි! :)

    @කාවින් තරන්ග මෙන්ඩිස් | Karvin Mendis
    බොහොම ස්තූතියි මල්ලි!

    ගිහාන් චින්තක said...

    Manavaya wada naane.. Wen koheta hari move kalaada ?/

    ධනික | Dhanika said...

    @Gihan
    Domain එකේ පොඩි අවුලක්. දැනට http://manavaya.schoolnet.lk ලිපිනයෙන් මානවයා අඩවියට පිවිසෙන්න පුළුවන්. හැකි ඉක්මණින් domain අවුල නිවැරදි කරන්නම්.

    ගිහාන් චින්තක said...

    @Dhanika
    Thanks. Mamam baluwa. Niyamai..

    Post a Comment

    පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
    දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
    [භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

    Related Posts with Thumbnails