සිව්වන මාධ්‍යය සහ MOFILM ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ ප්‍රථම වැඩමුළුව

සිව්වන මාධ්‍යය සහ MOFILM ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ ප්‍රථම වැඩමුළුව පසුගිය ජූලි 10 වන දින Hilton Colombo Residence හී දී පැවැත්විය. මොබිටෙල් සමාගම විසින් සංවිධානය කරන ලද මෙම වැඩමුළුව වර්ණවත් කරනු වස් ආරාධිත අමුත්තන් ලෙස පැමිණ සිටියේ හෙළ සිනමාවේ මහා පුරෝගාමියාණන් වන ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වෙනුවෙන් ඔහුගේ බිරිඳ වන ප්‍රවීණ සිනමා අධ්‍යක්‍ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මිය සහ සිංහල සිනමාවේ අති දක්‍ෂ නළුවෙකු මෙන්ම සිනමා අධ්‍යක්‍ෂ වරයෙකු වන ජැක්සන් ඇන්තනි මහතා යි. වැඩමුළුව සඳහා විවිධ මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන්, විශ්ව විද්‍යාල සිසුන් සහ පාසල් ශිෂ්‍යයින් පැමිණ සිටියහ.

වර්තමානය වන විට සිනමාව, රූපවාහිනිය සහ පරිගණකයෙන් පසු ජංගම දුරකතන තිරය ලොවවටා ජංගම දුරකතන හිමියන්ගේ රසවින්දනයේ සිව්වන මාධ්‍යය බවට පත් වී ඇත. වසර 2006 සිටම USA හි Ithaca College වැනි අධ්‍යාපන ආයතන, Sundance Institute වැනි සිනමා ඇකඩමි, GSM Association ඇතුළු ජංගම දුරකතන සේවාසපයන්නන්, අධ්‍යක්‍ෂකයින් මෙන්ම සිනමා නිෂ්පාදකයින් මෙම "සිව්වන මාධ්‍යය" වන ජංගම දුරකතන තිරය ප්‍රවර්ධනය සඳහා සංකල්ප සහ අන්තර්ගත සකසමින් මූලික පියවර ගෙන ඇත.


වසර 2008 දී ජාතික ජංගම දුරකතන ජාලය වන Mobitel සමාගම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ මොරටුව විශ්වවිද්‍යාලය සමඟ අත්වැල් බැඳගෙන මෙම "සිව්වන මාධ්‍යය" පිළිබඳ පර්යේෂණ කිරීමේ අවදානම් සහිත කාර්යය ආරම්භ කරන ලදි. දේශීය සිනමා නිපැයුම් කරුවන් මෙම නව "සිව්වන තිර රඟමඬල" ට ප්‍රවේශ කරවීම තුළින් ඔවුන්ගේ කුසලතාවයන් රටට එළිදරව් කිරීම හරහා අප සිනමා කර්මාන්තය මීළඟ යුගය කරා ඔසවා තැබීම මෙම ප්‍රයත්නයෙහි අරමුණ විය.

මේ සඳහා මූලික පියවරක් ලෙස මොරටුව විශ්වවිද්‍යාලීය පළමු වසර සිසුන්ගේ බාහිර විෂයක් වන Video Production සඳහා Mobile Short Films ඇතුලත් කිරීම තුළින් ජංගම දුරකතන තිරය සඳහා පර්යේෂණාත්මක කෙටි චිත්‍රපට සෑදීමට සිසුන් දිරිමත් කරන ලදි. Mobitel සමාගම මෙලෙස ජංගම චිත්‍රපට නිර්මාණකරණය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අනතර්ජාතිකව මෙය හඳුනාගත්, ජංගම කෙටි චිත්‍රපට සහ විනෝදාශ්වාද සඳහා වන ජාත්‍යන්තර සංගමය වන MOFILM මඟින් 2009 වර්ෂයේදී සංවිධානය කළ ස්පාඤ්ඤයේ බාසිලෝනා හි පැවති GSMA World Congress 2009 හී දී ජංගම චිත්‍රපට ප්‍රවර්ධනය සඳහා සිදුකළ මෙහෙවර වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නාමය දිදුළවමින් "MOFILM Best Mobile Operator" සම්මානය Mobitel සමාගම විසින් හිමිකර ගන්නා ලදි.













සිව්වන මාධ්‍යය සහ MOFILM ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ මෙම ප්‍රථම වැඩමුළුව සංවිධානය කරනු ලැබුවේ මෙහි ඊළඟ පියවර ලෙසය. "Film for Mobile Workshop" ලෙස නම් කර තිබූ මෙම වැඩමුළුව මෙහෙය වනු ලැබුවේ MOFILM හි ප්‍රාරම්භකයින් දෙදෙනා සහ වත්මන් ප්‍රධාන විධායක නිලධාරීන් දෙදෙනෙකු වන Ralph Cochrane සහ Andy Baker විසිනි. ජංගම චිත්‍රපට (MoFilms) සහ සාමාන්‍ය චිත්‍රපට අතර ඇති වෙනස්කම, ජංගම චිත්‍රපට නිර්මාණයේ දී අනුගමනය කරනු ලබන විශේෂ තාක්‍ෂණික ක්‍රම සහ තවත් බොහෝ කරුණු මෙහිදී විස්තරාත්මකව හඳුන්වාදෙනු ලැබිණ. පසුව කණ්ඩායම් වශයෙන් බෙදී එවෙලෙහිම ජංගම චිත්‍රපටියක් සෑදීමට එම කණ්ඩායම් යොමු කරනු ලැබිණ. සෑම කණ්ඩායමකටම රූපගත කිරීම සහ සංස්කරණය කිරීමට අවශ්‍ය වීඩියෝ කැමරාව සහ ජංගම පරිගණකය බැගින් ලබා දුන් අතර පැය 5 ක් වැනි සීමිත කාල සීමාවක් තුළ එවෙලෙහිම තිර පිටපතක් ලියා, එවෙලෙහිම රූපගත කිරීම සිදුකර, එවෙලෙහිම සංස්කරණය කර ජංගම චිත්‍රපටයක් නිර්මාණය කිරීම සැබැවින්ම රසවත් අත්දැකීමක් විය. අනතුරුව එවෙලෙහි නිර්මාණ වුනු ජංගම කෙටි චිත්‍රපට අතුරින් නිර්මාණකරණයෙහි කුසලතාවයන්ට අදාළව ත්‍යාග පිරිනැමීමක්ද සිදුවිය.

ජංගම චිත්‍රපට (MoFilms) සාමාන්‍ය චිත්‍රපට සහ ටෙලිනාට්‍ය වලට වඩා වෙනස් වන්නේ එහිදී අවධානය යොමු වන්නේ කුඩා තිරයක් වෙත නිසාවෙනි. එමනිසා ජංගම චිත්‍රපට වලදී ඈත රූපරාමු වලින් මිදී සමීප සහ අර්ධ සමීප රූපරාමු පමණක් භාවිතා කිරීමට නිර්මාණකරුවන්ට සිදුවේ. දෙබස් සැළකුවද සාමාන්‍ය චිත්‍රපට වලදී මෙන් වැල්වටාරම් දෙඩවිය නොහැක. හැකිතාක් දෙබස් සීමා කිරීමට සහ අත්‍යාවශ්‍ය විට දී පමණක් ඉතා පැහැදිලි, වේගය අඩු දෙබස් යොදාගෙන නිර්මාණකරණයේ යෙදෙන්නට සිදුවනු ඇත. එමනිසා මෙම ජංගම චිත්‍රපට භාවිතයෙන් ඉහල රසවින්ඳනයකින් යුතු නිර්මාණකරණයේ යෙදීමට නම් ඇතැම් විට අවකාශ නොලැබෙනු ඇත. නමුත් වෙළඳ දැන්වීම්, හාස්‍යජනක කතා සහ සිනමා නිර්මාණයන්හි පෙරදසුන් (trailers) වැනි දෑ සම්බන්ධව නම් ජංගම චිත්‍රපට සාර්ථක වනු ඇත. දැනට නිම වී ඇති ජංගම චිත්‍රපට කීපයක් ඔබට MOFILM වෙබ් අඩවියෙන් නැරඹිය හැක. එම වෙබ් අඩවියේ ඇති Mobitel සමාගමේ අනුග්‍රහයෙන් නිර්මාණය වුනු එකම ශ්‍රී ලාංකික ‍ජංගම කෙටි චිත්‍රපටය මෙතනින් නැරඹිය හැක. (නැරඹීම සඳහා ප්‍රථමයෙන් ලියාපදිංචි විය යුතුයි)

කෙසේ වෙතත් ජංගම දුරකතනය වත්මන් ලෝකය තුළ ඉතා සුලභ වීම නිසා මෙම "සිව්වන මාධ්‍යය" ඉතා ඉක්මණින් ප්‍රචලිත වනු ඇත. නමුත් මෙමගින් මිනිසුන්ගේ රසවින්ඳනය බාල කිරීම වැනි අකටයුතුකම් සිදුවිය හැකි බවටද මත පළවේ. විශේෂයෙන්ම මෙම වැඩමුළුවේ ආරාධිත දේශනය පැවැත්වූ සුමිත්‍රා පීරිස් මහත්මියගේ කතාවෙන් නොකියා කියැවුනේ රීදී තිරය වැනි විශාල තිරයක ගොනු කෙරුණු දැවැන්ත ගැඹුරු ප්‍රකාශනයන් මෙම ඇසටත් නෙපෙනෙන පුංචි තිරයකින් ප්‍රකාශ කිරීම කෙලෙස කළ හැක්කක්ද වැන්නකි.

එසේ මෙසේ කෙසේ මත පළ වුව ද මිනිසාගේ කාර්ය බහුලත්වය නිසා රිදී තිරය මිනිසාගෙන් ඈත් වූවා සේම, නොබෝ දිනකින්ම රූපවාහිනිය සහ පරිගණක තිරයද මිනිසුන්ගෙන් ඈත් වනු ඇත. එවිට අවසානයේ 'රසවිඳනය' යන්නට නාමමාත්‍රිකව හෝ ඉතිරි වනු ඇත්තේ මෙම "සිව්වන මාධ්‍යය" යැයි කියන ජංගම දුරකතන තිරය පමණකි. නමුත් එය මිනිසාගේ රසවින්ඳනයට කෙලෙස බලපානු ඇත්දැයි යන්න තවමත් සැක සහිතය.


2 යි ප්‍රතිචාර

Unknown said...

machan uba hemadama aluth deyak aluth vidiyata karana kenek. wish u all the best .

ධනික | Dhanika said...

@nilanga
බොහොම ස්තූතියි මචං! වෙන කෙනෙක්ගෙ හොඳක් අවංකවම මූණටම කියන උඹලා වගේ අය හරි පොඩ්ඩයි ඉන්නෙ.

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails