මොකද්ද මේ DVI කියන්නෙ ?

DVI කියන අකුරු තුනෙන් නම් කියැවෙන්නෙ Digital Visual Interface (අංකිත දෘෂ්‍ය අතුරුමුහුණත) කියන එක. දැන් බලමු මොකද්ද මේ DVI කියන්නෙ කියලා.

අපි මෙච්රකල් දැනගෙන හිටපු සුලභ දර්ශන ප්‍රමිතීන් (Video Standards) ටික මේවනෙ.

  • VGA - Video Graphics Array
  • SVGA - Super Video Graphics Array
  • VESA SVGA - Video Electronic Standards Association SVGA

මෙතෙක් කල් තිබුණු මේ දර්ශන ප්‍රමිතීන් සියල්ලම වැටෙන්නෙ Analog ගණයට. එනම් මේවායේ දී Source device එකේ සිට Display device එක වෙත දත්ත සම්ප්‍රේෂණය වෙන්නෙ Analog signals විදයට. DVI හි ඇති වෙනස නම් එහිදී Source device එකේ සිට Display device එක වෙත දත්ත සම්ප්‍රේෂණය වෙන්නෙ Digital signals ආකාරයට.

දැන් බලමු සරලවම කොහොමද අපේ මොනිටරය මත රූප දිස් වෙන්නෙ කියලා.

අපේ CPU එක මගින් ලබා දෙන රූප විධානයන්ට අනුව එම රූප වලට අදාල නියම ප්‍රතිබිම්භය (Actual image) එනම් 1, 0 ඇසුරෙන් එම රූපය CPU එක වෙනුවෙන් නිපදවීම සිදුකරන්නෙ Display Controller එක මගින් එහි මතකයේ. එය හැඳින්වෙන්නෙ Refresh Buffer යන නමින්. (අපි භාවිත කරන භාෂාවෙන් කිව්වොත් ඔය Display Controller එක කියන්නෙ separate හෝ on board ලෙස ඇති Video card එක. අපි Video memory ලෙස හඳුන්වන්නෙ ඔය Actual image එක තැම්පත් වන මතකය) මෙම Display Controller එක මගින් නිපදවන 1, 0 ඇසුරෙන් ඇති රූපය Display device එකට (මොනිටරයට) සම්ප්‍රේෂණය වූ පසු එහි ඇති Video Controller එක මගින් නැවත එම 1, 0 ඇසුරෙන් ඇති, එක් එක් පික්සලයට අදාල වර්ණය සෑදීමෙන් තමයි අපේ මොනිටරය මත මෙම රූප දිස් වෙන්නෙ.


VGA, SVGA සහ VESA SVGA යන Analog Video Standards වලදි Display Controller එක තුල, රූපයට අදාල නියම ප්‍රතිබිම්භය නිපදවෙන්නෙ 1, 0 ඇසුරෙන් වුවත්, එහි සිට Video Controller එක වෙත සංඥා සම්ප්‍රේෂණය වෙන්නෙ Analog Signals ලෙසයි. එනම් Display Controller එකෙන් ප්‍රතිදානය වෙන්නෙ Analog output එකක්. මෙහිදී එක් එක් පික්සලයට අදාල සංඥා වෙන වෙනම සම්ප්‍රෙෂණය වෙනවා වෙනුවට, රූපයට අදාල තිරස් පික්සල පේළියක සංඥා, එක සංඥාවක් ලෙස සම්පීඩනය වී, එවැනි සම්පීඩිත (compressed) සංඥා සමූහයක් ලෙසයි Video controller එක වෙත සංඥා සම්ප්‍රේෂණය වීම සිදුවෙන්නෙ. එමනිසා මෙහිදී යම් පික්සලයකට අදාල වර්ණයට ඊට යාබද පික්සල වල ඇති වර්ණ මිශ්‍ර වීම් වගේම විද්‍යුත් බාධාවීම් (electrical noise) සහ ප්‍රතිසම සංඥා විරූප වීම් (analog distortion) වැනි දුර්වලතා ඇතිවෙන්න පුළුවන්. එමනිසා ඇතැම් විට අපිට මොනිටරයේ දිස් වෙන්නෙ CPU එකෙන් ලබා දෙන රූපයට වඩා සුළු වශයෙන් විකෘති වූ (distorted) වෙනස් රූපයක් වෙන්න පුළුවන්. සිංහල අකුරු මොනිටරයේ දිස්වන විට තරමක් විකෘති වුණ ස්වභාවයකුත් එහිම මුද්‍රණ පිටපතක් හා සසඳා බැලුවොත් මුද්‍රිත සිංහල අකුරු වල ඉතා පැහැදිලි සුමට බවකුත් තිබෙනවා දකින්න පුළුවන්. මෙය මීට හොඳම නිදසුනක්.

නමුත් DVI (Digital Visual Interface) යන නව Digital Video Standard එකේදි Display controller එකේ සිට Video controller එක වෙත සංඥා සම්ප්‍රේෂණය වෙන්නෙ Digital Signals ලෙස. එනම් Display controller එකෙන් ප්‍රතිදානය වෙන්නෙ Digital output එකක්. මෙහිදී Display controller එක මගින් නිපදවනු ලබන 1, 0 ඇසුරෙන් ඇති නියම ප්‍රතිබිම්භය Video Controller එක වෙත යන්නෙ එලෙසින්ම ද්විමය දත්ත සංඥා (Binary data signals) ලෙසයි. මෙහිදී සෑම පික්සලයකම ඇති වර්ණයට අදාල ද්විමය දත්ත සංඥා වෙන වෙනම සම්ප්‍රේෂණය වෙනවා. පික්සලයක ඇති වර්ණය සෑදෙන ආකාරයත් මදක් සලකා බලමු.

සෑම පික්සලයකම ඇති වර්ණයක් සෑදෙන්නෙ RGB (රතු, කොළ, නිල්) යන වර්ණ තුනේ සංකලනයක් ලෙසයි. මෙහිදි මේ වර්ණ තුනේ දායකත්වය, එනම් ලා හෝ තද බව 0 සිට 255 තෙක් ඇති අගයකින් තීරණය වෙන්නෙ. (Photoshop භාවිතා කරනවනම් ඔබ දැකලා ඇති යම් වර්ණයක් තේරීමෙදි RGB යන වර්ණ තුන සඳහා 0 සිට 255 දක්වා ඇති අගයක් තෝරන්න තියෙනව) ද්වීපාදයීයව 0 සිට 255 දක්වා ඇති ඕනෑම සංඛ්‍යාවක් සටහන් කිරීමට බිට් 8ක් අවශ්‍ය වෙනවා (signed int ලෙස). එනම් එක් වර්ණයක තීව්‍රතාවය තීරණය කරන්න බිට් 8 ක් එනම් බයිට් 1 ක මතකයක් ලෙස, වර්ණ තුනේ සංකලනයක් ලෙස සෑදෙන එක් පික්සලයකට අදාල වර්ණය තීරණය කරන්න බයිට් 3 ක මතකයක් අවශ්‍යයි. අපේ මොනිටරය 1024x768 විභේදනයකින් යුක්ත නම් එහි සම්පුර්ණයෙන් පික්සල 786,432 ක් අන්තර්ගත වෙනවා. එක් පික්සලයකට බයිට් 3 බැගින් මේ මොනිටරයේ එක රූපරාමුවක් මතකයේ තබා ගැනීමට අවශ්‍ය මතකය බයිට් 2,359,296 ක්. එනම් දළ වශයෙන් මෙගා බයිට් 2.25 ක්. Refresh rate එක 60Hz වන මොනිටරයක් සැලකුවොත් තත්පරයට මෙවැනි රූපරාමු 60 ක් දිස්වෙනවා. එනම් පික්සල වර්ණ ගැන්වීමට පමණක් තත්පරයට මෙගාබයිට් 60x2.25=135 ක දත්ත හුවමාරුවක් සිදුවිය යුතුයි. DVI හි දත්ත සංඥාවක්, පික්සල වර්ණගැන්වීමේ දත්ත අඩංගු RGB data වලින් පමණක් නොව RGB data, clock සහ display data යන දත්ත වලින් සමන්විතයි. මේ සියල්ලම හුවමාරු වන DVI හි දත්ත හුවමාරු වේගය (Data transfer rate) කොපමණක්ද කියලා මින් හිතාගන්න පුළුවන්.


DVI හිදි මෙලෙස සෑම පික්සලයකටම අදාල වර්ණය වෙන‍ වෙනම ද්විමය දත්ත සංඥාවක් ලෙස Video Controller එකට ලැබෙන නිසා යාබද පික්සල වල වර්ණ සමග මිශ්‍ර වීම්, විද්‍යුත් බාධාවීම් සහ විරූප වීම කිසිසේත් ඇතිවිය නොහැකියි. එම නිසා CPU එක මගින් ලබාදෙන රූප එලෙසින්ම දර්ශනය කිරීමේ විශිෂ්ට හැකියාවක් DVI සතුව පවතිනවා. එමනිසා Computer Designing වැනි මුද්‍රණය සම්බන්ධ ක්ෂේත්‍ර වලට මෙය අතිශය ප්‍රයෝජනවත් වේවි. මන්ද VGA වලදී මුද්‍රණය වන දේ එලෙසින්ම තිරයේ නොපෙන්වීමත් DVI හි දි මුද්‍රණය වන දේ එලෙසින්ම තිරයේ පෙන්වීමත් නිසා. ඊට අමතරව Analog Video Standards වලදී ලබාගත හැකි උපරිම තිර විභේදනය (Screen Resolution) 1024x768 කට සීමා වුවත් Digital Video Standard එකක් වන DVI මගින් 3840x2400 වැනි උපරිමක් දක්වා උසස් තිර විභේදනයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. දැනට ඇති නවතම දර්ශන තාක්‍ෂණය මෙය නිසා තවම මෙය සුලභව භාවිතා නොවුනත් තව වසර කීපයකින් DVI මගින් වෙළඳපොළ ආක්‍රමණය කළ පසු VGA මොනිටර හොයා ගන්නවත් නොමැති වෙයි.




මෙම DVI තාක්‍ෂණය භාවිතා කිරීමට DVI තාක්‍ෂණයෙන් සමන්විත මොනිටරයක් වගේම Video card එකකුත් (DVI card එකක්) අවශ්‍ය වෙනවා. බොහෝ විට දැනට වෙළඳපොළේ පවතින නවතම Video cards වල VGA හා DVI connectors දෙකම දැකගන්න පුළුවන්. ඉහල රූපයේ දැක්වෙන්නෙ එවැනි Video card එකක්. මොනිටර ගැන කිව්වොත් මෙම DVI තාක්‍ෂණය අළුතින් වෙළඳපොළට එන බොහෝ LCD සහ TFT මොනිටර වල දැකගන්න පුළුවන්. Samsung SyncMaster 933BW, 940UX, 226BW සහ Viewsonic Q20WB, VX2433BM මොනිටර ඉන් කීපයක්. තවම DVI තාක්‍ෂණය සුලභ නැති නිසා මෙම මොනිටර වල DVI සහ VGA යන connectors දෙකම තිබෙනවා. අවශ්‍ය නම් Digital සහ Analog සංඥා දෙකම එක විට මොනිටරයට ලබා දී අවැසි input එක මොනිටරයෙන් තේරීමේ පහසුකම තිබෙනවා. ඉහත රූපයේ දැක්වෙන්නෙ VGA connector එකක් (වමේ) සහ DVI connector එකක් (දකුණේ). DVI connector එක VGA connector එකට වඩා තරමක් වෙනස් බව ඔබට දැකගත හැකියි. මොනිටර වලට අමතරව නවතම අංකිත ප්‍රක්‍ෂේපක (Digital Projectors) වලද මෙම DVI තාක්ෂණය දැකගන්න පුළුවන්. මීට අමතරව දර්ශන තාක්‍ෂණය සම්බන්ධව තවමත් බොහෝ විට භාවිතා වන්නෙ Analog Signals නිසා Digital to Analog converters එනම් DVI to VGA converting cables, adaptors, connectors වැනි සංඥා පරිවර්තකද වෙළඳපොළේ දැකගන්න පුළුවන්.

DVI ගැන කතා කල හැකි තව බොහො දේ තිබුණත් මෙම ලිපිය ලිව්වෙ DVI යන නව තාක්‍ෂණය සම්බන්ධව සහ දර්ශන තාක්‍ෂණය සම්බන්ධ දළ තාක්‍ෂණික අවබෝධයක් ලබා දීමට පමණයි. DVI ගැන වැඩිදුර තොරතුරු මෙන්න මෙතැන විකියෙන් (හැබැයි කඩ්ඩෙන්) දැනගන්න පුළුවන්.


[ලිපිය ටිකක් දිග වැඩිද මන්දා.. සෑහෙන වෙලාවක් ගියා ලියන්ටත්... කොටලා කොටලා ඇඟිලි ටිකත් රිදෙනවා...]

20 යි ප්‍රතිචාර

සරත් ගුණතුංග said...

මේවා සම්බන්ධයෙන් මගේ දැනුම ඉතාම අල්පයි. ඔබගේ සටහනෙන් මමබොහොම දේවල් ඉගෙන ගත්තා. පරිගණකය හොඳට ක්‍රියා කරන තෙක් හොඳයි. මොකක් හරි වුනාම තමයි අමාරුව. කොහොම වුනත් දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි.

චමිදේවා said...

අනේ ඔව් මමත් ඕවා ගැන දන්නේ නෑ.මේ ගැන ගොඩක් දේවල් දැන් දැන ගත්තා.බොහොම ස්තූතියි ඒකට...

ම.ම.ගි said...

අගේ ඇති ලිපියක්.

Deeps said...

හෆ්ෆා මාර ලිපියක්. උඩින් පල්ලෙන් කියෙව්වා. පස්සේ කියවන්න බුක් මාක් කරගත්තා. කියවල ඉවර වෙලා අන්තර්ගතය ගැන කමෙන්ට් දාන්නම්කෝ.

Anonymous said...

එල ගොඩක් හොදයි !!!!!!!

ධනික | Dhanika said...

@හැමෝන්ටම
බොහොම ස්තූතියි!

@deeps
අයියෝ හදිස්සියක් නෑනෙ.. පස්සෙ වෙලාවක නිවිහැනිහිල්ලෙ කියවලා බලන්නකෝ... :)

Kanishka said...

DVI වලට වඩා HDMI හොදයි නේද??

ධනික | Dhanika said...

@Kanishka
HDMI (High Definition Multimedia Interface) යනු අසම්පීඩිත අංකිත දත්ත සම්ප්‍රේෂණය කළ හැකි තවත් අතුරුමුහුණතක්. මෙහි ඇත්තේද DVI හි භාවිතා වන තාක්‍ෂණය වැනිම තාක්‍ෂණයක්. නමුත් මෙම අතුරුමුහුණක video signals සඳහා පමණක් නොව audio, video, data යන ඕනෑම සංඥාවක් සම්ප්‍රේෂණය සඳහා යොදා ගත හැකියි. DVI to HDMI adapters මෙන්ම HDMI to DVI adapters ද ‍වෙළඳපොළේ දැකගන්න පුළුවන්.

rclakmal said...

hmmm dhanika im going to answer the last person ...but sorry ,i have to use English ....

yr HDMI is better ,but remember both of them use digital signals instead of analogue signals which is use in VGA .

The main advantage in HDMI is we do not need to have a separate audio cable where we have to use one DVI. HDMI uses a single cable for bothe video and audio which will make cabling much easier .

Not only that it has some more advantages like
1.Ability to convert in to most appropriate aspect ratio
2. And HDMI cables are can go up to very large lengths which will make you comfortable in setting up the equipments .
3.And HDMI is better in audio quality .

rclakmal said...

ah dhanika has provided an answer ..i didnt see it !!!!!!

ධනික | Dhanika said...

@rclakmal
Oh it's ok machan. You have given a detailed answer for that question. Thanks!!!!

Anonymous said...

හොඳ ලිපියක්.

Indranama said...

හොඳ ලිපියක් මචං, දැනගෙන හිටියෙ නැති තාක්ෂණික දේවල් ටිකක් දැනගත්තා. ස්තූතියි.

GNS said...

එළ එළ... තැන්කූ...

මගෙත් VGA Card එකේ නම් DVI තියෙනවා.. මොනිටර් එකේ නෑ. [මොනිටරේ විසික් කරන්න කාලෙ හරි වා‍ගේ.. ;) ]

ධනික | Dhanika said...

@පහන්
ස්තූතියි!

@ප්‍රවීන් ඉන්ද්‍රනාම
ස්තූතියි මචං!

@ගයන්ත
හි.. හි.. අනේ විසික් කරන්න නම් එපා අපරාදෙනෙ... හදිස්සියකට ගන්නවත් තියාගන්න.. නැත්තං ඉතිං කාටහරි දංදීලා පිනක් දහමක්වත් කරගන්න... :D

Thejan said...

this a good one buddy. Well done, go on ...

Isuru Wijesinghe said...

ගොඩාක් ප්‍රයෝජනවත් ලියුමක්. මට මේ DVI ගෑන හොයාගන්න බෑරිව හිටියෙ.කඩ්ඩ ටිකක් අප්සෙට්

ධනික | Dhanika said...

@Thejan
Thanks buddy!

@සුදු මහත්තයා
ස්තූතියි! දැන් ඉතිං කඩ්ඩ අවුල් කියලා බයවෙන්න ඕන්නෑ.. මේ සිංහල යුනිකෝඩ් වලට පිංසිද්ධ වෙන්න අපේ සිංහලය දැන් සයිබර් අවකාශය ආක්‍රමණය කරමින්නෙ ඉන්නෙ... :)

Thameera said...

හොඳ ලිපියක්. DVI ගැන මෙච්චර කල් තිබුණෙ වැරැදි අදහසක්!

Thiwanka Jayasinghe said...

godak dawal egana gatta.......

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails