Taboo ගේ අවස්ථිතිය සහ Anonymous ලාගේ පිටකොන්ද

ආගම් භේදයක් නොමැති ශිෂ්ටසම්පන්න සිංහලයෝ පමණක් උපේක්‍ෂාවෙන් මෙම ලිපිය කියවත්වා!

නැවත වරක් මම Taboo සම්බන්ධව ලිපියක් ලිවීමට හේතුව නම් ඔහු විසින් වෙනත් බ්ලොග් අඩවියක මට චෝදනා දෙකක් එල්ල කර තිබීමය. කෙනෙකුට චෝදනාවක් එල්ල කල විට නැවත පෙරළා චෝදනාව කල පුද්ගලයා විසින් චෝදනාවට ලක්වීම ස්වභාවිකය. එම නිසා මම එම චෝදනාවන්ට උපේක්‍ෂාවෙන් පිළිතුරු දෙමි.

ඔහු විසින් මට එල්ල කරන එක් චෝදනාවක් නම් මවිසින් මාගේ ලිපිය ලියා ඇත්තේ ඔහුට විරුද්ධව වාදයක් ඇදගෙන මාගේ අඩවියට හිට් වැඩිකර ගැනීමටය යන්නයි.

එයට පිළිතුර මෙසේයි:

පාප් වහන්සේ සහ ඔටුවෙකු ඉඳිකටු හිලෙන් රිංගවීම යන ලිපිය මවිසින් ලියන්නට හේතුපාදක වූයේ ආගමක් නොඅදහන්නෙකු වන Taboo විසින් මා පිළිපදින කතෝලික ආගමේ නායකයෙකු පිළිබඳ යම් සඳහනක් කර තිබූ නිසා සහ එහි වරදක් ඇතැයි කතෝලිකයෙකු ලෙස මට සිතුණු නිසාවෙන් සහ කතෝලික ආගමේ යම් උපමා කතාවක් පිළිබඳව නොදැනුවත්කම නිසා ඔහු ලියා තිබූ වැරදි කියමනක් නිවැරදි කිරීමට මට උවමනා වීම නිසාවෙනි. නැතුව ඔහු සමඟ වාදයක පැටලී hits වැඩි කර ගැනීමට නොවේ. Hits වැඩි උනාය කියා මට ඇති වන සෙතක්ද නැත.

ඔහු විසින් එල්ල කරන අනෙක් චෝදනාව නම් මම මාගේ ලිපිය ලියා ඇත්තේ ඔහු බොරු වාදයක් පටලවා ගෙන 'ඇනෝනිමස්' කමෙන්ට් මාර්ගයෙන් ඔහුට පහර දීමටය යන්නයි.

එයට පිළිතුර මෙසේයි:

තමන්ගේ මතය නොබියව ප්‍රකාශ කල නොහැකි වෙස්මූණු පැළඳගෙන අසැබි වචන දොඩන කශේරුකාවක් නොමැති 'ඇනොනිමස්'ලා පිළිබඳව මටද ඇත්තේ මහත් පිළිකුලකි. කශේරුකාවක් ඇත්නම් තම අදහස තමන්ගේ නම්න්ම ප්‍රකාශ කීරීමට ඔවුනට හැකි විය යුතුය. ඔවුන්ට වඩා නම්, ආදේශ නමකින් හෝ පෙනී සිට තමන්ට එල්ල වන චෝදනාවන්ට කෙලින්ම පිළිතුරු දෙන Taboo ලා හොඳය. සඳුදා විශ්වවිද්‍යාලය නිම වී මම ගෙදර එන ටිකට 'ඇනොනිමස්'ලා බර ගානක් එම සංවාදය කසල ගොඩක් කර තිබුණි. 'ඇනොනිමස්' ලෙස ප්‍රතිචාර දැක්වීම මා විසින් අත්හිටවූයේද ඔවුන් විසින් දමා තිබූ අසැබි වචන සහිත ප්‍රතිචාර මකා දැමුවේද එබැවිනි. මම මේ බ්ලොග් සටහන පටන් ගත්තේ මීට සති දෙකකට පෙරය. ‘ඇනෝනිමස්’ලා සම්බන්ධ මෙවැනි අත්දැකීම් මට ඉන් පෙර නොතිබුණි. මින් මත්තට නම් කවරදාකවත් එවැනි ලිපි සඳහා ‘ඇනෝනිමස්’ ප්‍රතිචාර වලංගු නොකරමි.

'ඇනෝනිමස්' නමින් මම ප්‍රතිචාර පලකලායැයි Taboo ගේ කීම මම තරයේ ප්‍රතික්‍ෂේප කරමි. මාගේ ලිපියේ මුල සිට ප්‍රතිචාරයන්හි අවසානය දක්වාම මා අදහස් ප්‍රකාශ කිරීම සඳහා භාවිතා කලේ ශිෂ්ටසම්පන්න සිංහල භාෂාව පමණි. ‘ඇනෝනිමස්’ නමින් මම ප්‍රතිචාර පල කලා යැයි ඔහු චෝදනා කරන්නේ එමගින් ඔහුට නිර්නාමිකව පහර දීමට කියාය. මම Taboo වූවා නම් මටද එලෙස සිතෙනු ඇත. එය ස්වභාවිකය. නමුත් එසේ නම්, තම ප්‍රසිද්ධිය වැඩි කර ගැනීමට (“සිරස බලන්න එපා” යැයි සිරසම පෝස්ටර් ගැසුවාක් මෙන්) සහ මට ඔය වැනි චෝදනාවක් එල්ල කිරීමේ අටියෙන් එම ‘ඇනෝනිමස්’ ප්‍රතිචාර පල කලේ ඔහු යැයි මටද ඔහුට චෝදනා කල හැක. නමුත් මම එසේ නොකරමි. මන්දයත් ‘ඇනෝනිමස්’ නමින් ප්‍රතිචාර එක් කරන්නේ කව්ද යැයි දන්නේ ද එම ප්‍රතිචාරය එක් කරන්නාම පමණි. ඒ ගැන උපකල්පනය කිරීමට අපට හැකියාවක් නොමැත. එම සංවාදයේදී මම 'ඇනෝනිමස්' නමින් ප්‍රතිචාර පල නොකල බව මගේ හෘද සාක්‍ෂියට එකඟව මම දනිමි.


Taboo ගේ අවස්ථිතිය:

Taboo යනු අවස්ථිතික රාමුවක කොටු වී සිටින්නෙකි. ඔහුට මෙන්ම ඕනෑම පුද්ගලයෙකුට අවස්ථිතික රාමුවක් ඇත. වෙනස නම් Taboo ගේ අවස්ථිතික රාමුව සාපේක්‍ෂව වෙනස් වීමය. එහි ගැටළුවක් නැත. නමුත් තමන්ට අනන්‍ය වූ තමන්ගේ අවස්ථිතියෙන් අනෙකාට අවැඩක් අගෞරවයක් නොවිය යුතුය. ගෞරවය යන්න ඔහුගේ අවස්ථිතික රාමුව තුල නැති බව පැහැදිලිය. ශ්‍රී ලංකාවේ බහුතර ආගම වන බෞද්ධ ආගමේ ශාස්තෘවරයාණන් වන බුදු රජාණන් වහන්සේටද ඔහු කියන්නේ ‘ගෞතම බුදුන්’ කියා පමණි. එබැවින් ඔහු ලෝකයේ බහුතර වුවද ශ්‍රී ලංකාව තුල සුළුතර ආගමක් වන කතෝලික ආගමේ නායකයෙකුට ‘තුමා’ හෝ ‘වහන්සේ’ කියා කීම කිසිදා සිදු නොවන්නක් බව තේරුම් ගත්තෙමි. අඩු තරමේ ඔහු විසින් අපහාසයට මෙන් කියා තිබුණු ‘පෝපා’ යන යෙදුම (මෙය ඔහුගේ අවස්ථිතිය තුල අපහාසයක් නොවේ) මා පල කල ලිපියේ සහ ඉන්පසු ඇතිවූ සංවාදයේ ප්‍රතිඵලයක් ලෙස ඔහු විසින් ‘පෝප්’ ලෙස වත් වෙනස් කිරීම පිළිබඳව මා සතුටු වන අතරම ‘පෝපා’ යන්න ‘පෝප්’ ලෙසවත් වෙනස් කිරීම පිළිබඳව සිංහල කතෝලිකයෙකු ලෙස මම ඔහුට තුති පුදමි.

Taboo යනු අපගෙන් ගැරහුම් ලැබිය යුතු කෙනෙක් නොවේ. ඔහු වෙනස් කෙනෙකි. ඔහුගේ අදහස් සාපේක්‍ෂව වෙනස්ය. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් ප්‍රකාශ කිරීමට අයිතියක් ඇති නිසාවෙන් ඔහුගේ ලිපි අපි ඉවසිය යුතුය. ඔහු විසින් ‘පෝපා’ ලෙස සඳහන් කර ලියා තිබුණු ලිපියේ අන්තර්ගතය පිළිබඳවද මාගේ විරෝධතා ඇත. නමුත් ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීමට ඔහුට අයිතියක් ඇති නිසාවෙන් මා ඒ ගැන කලබල විය යුතු නැත. ‘පෝපා’ යන්න ගැන සහ ‘ඔටුවකු ඉඳිකටු හිලෙන් රිංගවීම’ ගැන පමණක් මා කලබල වූයේ පළමු වැන්නෙන් මාගේ ආගමට අපහසයක් සිදු වී ඇතැයි මට සිතුණු නිසාවෙන් සහ දෙවැන්නේ තිබූ වැරැද්ද නිවැරදි කිරීමට කතෝලිකයෙකු ලෙස මට යුතුකමක් සහ වගකීමක් තිබූ නිසාවෙනි. ඔහු ගේ අදහස් වෙනස්ය. ඒ පිළිබඳ අපි කලබල නොවිය යුතුය. ‘කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය’ ලෙස ලියන්නා කෙසේ ලීවත් අප එය සිහිබුද්ධියෙන් කියවිය යුතුය. නමුත් ඔහුගේ ලිපි වලින් කාට හෝ අවැඩක් අගෞරවයක් වන්නේ නම් ඒ පිළිබඳව අප කලබල වීම සාධාරණය.

මවිසින් පල කල පෙර ලිපියේදී මම ශිෂ්ටසම්පන්න බෞද්ධයන්ට කිසිම චෝදනාවක් එල්ල නොකල බව නැවත නැවතත් කියමි. ආගම් නොඅදහන්නෙකු නිසා ශිෂ්ටසම්පන්න සිංහල බෞද්ධයන් වන ඔබ සහ ශිෂ්ටසම්පන්න සිංහල කතෝලිකයෙකු වන මම විරසක විය යුතු නැත. අප සැම සිරි ලක් මැණියන්ගේ සාඩම්බර සිංහල දරුවන්ය. එක් වචනයක් නිසා අප භින්න භේද විය යුතු නැත. කෙනෙකුට ගෞරව දැක්වීම තමන්ට හානියක් නොව, තමන්ද ගෞරවය ලැබීමට හේතුවකි. අපි අපි එකිනෙකාට ගෞරව කරමු!

දෙව් මැදුරේ දම් සුවඳයි...
බුදු මැදුරේ සිල් සුවඳයි...
දේවාලේ මල් සුවඳයි...
තාංගු හඬ එකට වෙලෙයි...

පවින් මිදේවා... දුකින් මිදේවා...
මෙත් සිත් වැඩිවේවා...
යුධබිය නැති වී... සාමෙ උදා වී..
මිනිසත්කම රජ වේවා...

සම්මා සම්බුදු පියාණනේ...
කිතු සමිඳුනි.. නබි තුමනේ...
වෛරය ක්‍රෝධය නසා දමා...
සාමය දෙන්නට වඩිනු මැනේ...

4 යි ප්‍රතිචාර

Narada said...

කවිය පද නම් නියමයි මචෝ. මට නම් හිතට ඇල්ලුවා ගොඩාක්!
"සම්මා සම්බුදු පියාණනේ...
කිතු සමිඳුනි.. නබි තුමනේ...
වෛරය ක්‍රෝධය නසා දමා...
සාමය දෙන්නට වඩිනු මැනේ..." කෑල්ලට හින්දු දෙවිවරෙක් ඇතුල් කරා නම් තව හොදා! :)

ධනික | Dhanika said...

බොරු කියන්න ඕන්නෑනෙ මචෝ... මේක මගේ කවියක් නෙමෙයි.. ඉස්කෝලෙ යන කාලෙ අපි එළිදක්වපු ගීත ඇල්බමේක තිබ්බ සිංදුවක්... මේ ලිපියට අදාල හින්දයි ඒක මෙතන සඳහන් කලේ...

ඉන්දික said...

"අප සැම සිරි ලක් මැණියන්ගේ සාඩම්බර සිංහල දරුවන්ය"

ඔබ ගැන ආඩම්බරයි සහෝදරයා!

ධනික | Dhanika said...

@ඉන්දික
ස්තූතියි සහෝදරයා!

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails