~ ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts ~ දෙවන වසරට පා තබයි . . . ෴

ඔන්න අද මගේ මේ බ්ලොග් සටහනට වසරක් සපිරෙනවා. ඉතිං මේ ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts නම් බ්ලොග් සටහනේ, ගල්-බොරළු කටු-පඳුරු ප්‍රශංසා-විවේචන හා අනේක විධ දෑ මැදින් ආ පුරා වසරක ගමන් මග ගැන ආපසු හැරීබැලීමක් කරන්න, අද මේ ලිපිය යොදාගන්න මම හිතුවා.



මුලින්ම කියන්න ඕන මං මේ සිංහල බ්ලොග්කරණයට යොමු උනේ කොහොමද කියලා. පරිගණක ක්‍ෂේත්‍රය සම්බන්ධව ගොඩක් ලොකු උනන්දුවක් දක්වපු කෙනෙක් උනත් මට හරිහැටි අන්තර්ජාල සබඳතාවයක් ලබාගන්න පුළුවන් උනේ ගිය වසරෙ, ඒ කියන්නෙ 2009 අප්‍රේ‍ල් මාසෙදි. එතෙක් කල් dial-up සබඳතාවයකින් ඉඳ හිට අන්තර්ජාලයෙ සැරිසැරුවත්, හිතේ හැටියට අන්තර්ජාලයෙ සැරිසරන්න අවස්ථාව උදා උනේ ඔන්න ඔය කාලෙ ADSL සබඳතාවයක් ලබාගත්තට පසුව තමයි.

ඔන්න ඔහොම හිතේ හැටියට අන්තර්ජාලයෙ සැරිසරමින් ඉන්නකොට තමයි මට මේ සිංහල බ්ලොග් කියන දෑ නෙත ගැටුණෙ. ඇත්තටම ඊට කලින් මම සිංහල බ්ලොග් එකක්වත් කියවලා තිබුණෙ නෑ. ඊට පෙර මම අන්තර්ජාලයෙ සැරිසරන්න යොදාගත්තු සෑම පරිගණකයකම වගේ සිංහල යුනිකෝඩ් ස්ථාපනය වී නොතිබීම ඊට හේතු වෙන්න ඇති. ඉතිං කොහොම හරි සිංහල බ්ලොග් එකින් එක කියවගෙන කියවගෙන යද්දි මට සිංහල බ්ලොග් කියවනය වගේම බ්ලොග්කරුවන්ගේ සංසදයත් මුණගැහුණා. ඒ මුණගැහීමෙන් පස්සෙ මම තව තවත් සිංහල බ්ලොග් ලෝලියෙක් බවට පත් උනා. ඔන්න ඔය කියන කාරණා ටික තමයි මාව පෙළඹෙව්වෙ මගේම කියලා සිංහල බ්ලොගයක් අරඹන්න.

ඉතිං ඔන්න ඔය විදියට 2009 අප්‍රේල් 26 වෙනිදා මම මටම කියලා සිංහල බ්ලොගයක් නිර්මාණය කළා. ආරම්භයෙදි බ්ලොග්කරණය ගැන වැඩි දැනුමක් හෝ අත්දැකීමක් නොතිබුණු නිසා මගේ ආරම්භක ලිපි කීපය තරමක් ප්‍රාථමික ගණයේ උනත් සහෝදර බ්ලොග්කරුවන්ගෙන් සහ පාඨකයන්ගෙන් ලැබුණු දිරිගැන්වීම් සහ ප්‍රතිචාර නිසා වඩ වඩාත් ගුණාත්මක ලිපි පළ කරන්නට එය මට මහත් පිටුවහලක් උනා.

බ්ලොග්කරණය තුළ හෙමින් ගමනක් ගිය මම මේ වසර පුරාවටම මගේ බ්ලොග් සටහනේ පළ කරපු ලිපි ගණන 50 ක් පමණයි. අද මේ දෙවෙනි වසරට පා තබන දවසෙ මගෙ අතින් ලියැවෙන්නෙ 51 වෙනි ලිපිය. වසරකදි පළ කළ ලිපි ගණන 50 ක් වැනි අඩු සංඛ්‍යාවක් උනත් අද වන විට මේ බ්ලොග් සටහනයට visits 10,000 කට ආසන්න ප්‍රමාණයක් හා page hits 21,000 කට ආසන්න සංඛාවක් ද, Followersලා 140 ක් ද ලෙස මේ වනවිට සංඛ්‍යාලේඛණ සටහන් වෙනවා. මෙයින් මං පෞද්ගලිකව වඩාත්ම සතුටු වෙන්නෙ Followersලා 140 ක් සිටීම ගැන. ලිපි 50 ක් වැනි අඩු ප්‍රමාණයක් වටා සිංහල බ්ලොග් කියවන සාපේක්‍ෂව සුළු පාඨක පිරිසෙන් Followersලා 140 ක් වැනි ගණනක් රොක් වීම ගැන මට දැනෙන්නෙ අති මහත් සතුටක්!


එදා මෙදා තුර මං පළකළ ලිපි අතරින්, මාව CSE අධ්‍යනාංශයට තේරුණු දවසෙ, මගෙ ඇක ජීවිත කතාව ගැන ලියපු මං දිනුම්! - කියවන්න සබඳ මේ ජීවිතාන්දරය නම් ලිපිය බොහෝ පිරිසකගෙ අවධානයට ලක්වුණා. ජීවිතය නැමැති සටනේ මහා අරගල කරන බොහෝමයක් දෙනාට මගේ ඒ උඩුගම් බලා ගිය ජීවිතාන්දරෙන් ලැබී තිබූ ගට කෙතරම්ද කිවතොත්, මේ වනවිට ඒ ලිපියට ලැබිලා තියෙන ප්‍රතිචාර ගණන, මං එක් කළ ප්‍රතිචාරද ඇතුළුව 88 ක්. CSE අධ්‍යනාංශයට තේරීලා දැන් සමාසයකුත් ගෙවිලා තිබුණත් තවමත් ඒ ලිපියට ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඒ ලිපියට මට ලැබුණු ප්‍රතිචාර නම් මට මගේ ජීවිතේට ලොකුම ලොකු මතක සටහන් ගොන්නක්. ඒ ප්‍රතිචාර එක්කල හැමෝටම මං මේ වෙලාවෙ ආයෙමත් හදවතින්ම ස්තූතිවන්ත වෙනවා!


eBay සම්බන්ධව මෑතකදි මං ආරම්භ කළ ලිපි මාලාවටත් විශාල පාඨකයින් පිරිසක් ඇදී ආවා. මෙතෙක් බොහෝමයක් දෙනා නොදැන සිටි, නමුත් දැන ගන්න ආශාවෙන් හිටපු දෑ බොහෝමයක් ඒ ලිපි මාලාව හරහා පාඨක ඔබට ලබා දෙන්න හැකිවීම ගැන මට නිහතමානීව සතුටුයි. ඔය ලිපි මාලාව ගැන කියද්දි මට කියන්න තව එක් දෙයක් තියෙනවා. ලාංකීකයින් වශයෙන් අන්තර්ජාතිකව අපිට ලබා ගත හැකි බොහොමයක් ප්‍රතිලාභ අපිට අහිමි වෙන්නෙ අපේ මිනිස්සුන්ගෙ නොදැනුවත්කම සහ දැනුම බෙදා ගැනීමට ඇති ආත්මාර්ථකාමීකම නිසා. ඉතිං එහෙම ආත්මාර්ථකාමී නොවී මං ඒ ලියපු ලිපි මාලාවට තම තමන්ගෙ දැනුම හැකි පමණින් මුසු කරමින් ප්‍රතිචාර එක්කළ සියළුම දෙනාට මේ වෙලාවෙ මං ආයෙමත් සැරයක් ස්තූතිවන්ත වෙනවා. තව දෙයක් කියන්න ඕනෙ. ඒ ලිපි මාලාව තාම ඉවර නෑ. යම් යම් හේතූන් නිසා ඒ ලිපි මාලාවෙ ඊළඟ ලිපිය ටිකක් ප්‍රමාද වෙච්ච එක ගැන සමාවෙන්න ඕනෙ. හැබැයි eBay ගැන තව කියන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතිං මේ දවස් ටිකේ තනියම eBay ගණුදෙනු ටිකක් කරලා අත්දැකීම් ලබාගන්න. හැකි ඉක්මණින් ඊළඟ ලිපිය ලියනවා.

ඉතිං ඊට අමතරව වැඩි වශයෙන් පාඨක අවධානය දිනාගත් ලිපි එකින් එක කියන්න බැරි නිසා ඔන්න මං පුංචි සාරාශයක් ඉදිරිපත් කරලා තියෙනවා සබැඳුම්ද සමගින්.




කලින් ලිපිය මං ලිව්වෙ මගෙ උපන් දිනෙයි, ඡන්දෙයි, බ්ලොගයෙ අර්ධ ශතකෙයි එකම දවසෙ යෙදී තිබීම නිමිත්තෙන් කියලා මතක ඇතිනෙ. ඉතිං ඔන්න අද මගේ මේ බ්ලොග් සටහනේ පළමු උපන් දිනය යෙදී තිබෙන අද දවසත් මට තවත් ආකාර‍යකින් වැදගත් දවසක් උනා. ඒ තමයි නිවාඩුවෙන් පස්සෙ අද තමයි මගේ සරසවි දිවියෙ දෙවෙනි වසරෙ දෙවෙනි සමාසය (semister එක) ආරම්භ උනේ. ඉතිං ආයෙත් අදින් පස්සෙ නැවතත් සුපුරුදු කාර්යබහුල ජීවිතය ආරම්භ වෙනවා. හැබැයි ඒ මොනා උනත් මේ බ්ලොග් සටහන ලිවීම නවත්වන්න නම් අදහසක් නෑ. කෙතරම් කාර්යබහුල උනත් ඔබ සැම වෙනුවෙන් මේ බ්ලොග් සටහන හැමදාම ලියැවේවි!

අවසාන වශයෙන් කියන්න යන්නෙ, මගේ මේ බ්ලොග් සටහනේ පාඨක පිරිස වන ඔබ ගැන. මේ බ්ලොග් සටහන ලියැවෙන්නෙ අන්කවරකටත් වඩා ඔබේ ප්‍රතිචාර වල ශක්තියෙන් කිව්වොත් මං නිවැරදියි. ප්‍රතිචාර තමයි බ්ලොග් සටහනක ජීවරුධිරය!
විශේෂයෙන්ම මේ අපේ සිංහල බ්ලොග් සටහන් වල. ඉංග්‍රීසි බ්ලොග් වල නම් ගූග්ල් දැන්වීම් දාලා සල්ලි හොයන්නවත් පුළුවං. නමුත් මේ සිංහල බ්ලොග්කරණයේ යෙදෙන අපට මේ බ්ලොග් සටහනකින් ලැබෙන එකම ප්‍රතිලාභය, පාඨක ඔබ සැමගේ ප්‍රතිචාර දැකීමෙන් ඇතිවන ආත්ම තෘප්තිය පමණයි. ප්‍රතිචාර ලැබෙන්නෙ නැත්නම් සිංහල බ්ලොග් සටහනක් ලිවීම ඉබේම නැවතෙන බව නොරහසක්. ඉතිං මගේ මේ සිංහල බ්ලොග්කරණය තුළ එදා මෙදා තුර ලියවුණු බ්ලොග් සටහන් වලට ඔබේ නොමසුරු ප්‍රතිචාර එක් කරමින් මාව දිරි ගන්වපු සහ සවිගන්වපු පාඨක ඔබ සියළුම දෙනාටත් මගේ හදවතින්ම පිදෙන ගෞරවනීය ස්තූතිය හිස නමා පුද කර සිටිනවා!

ඔබේ ඔය නොමසුරු ප්‍රතිචාර, යෝජනා, චෝදනා, ප්‍රශංසා ලැබෙන තුරාවට ඔබ වෙනුවෙන් යමක් ලියන්නට මගේ කාලයෙන් බිඳක් සැමදාම වැය වේවි! එසේ ලි‍යවෙනා තුරාවට ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts
සිංහල බ්ලොගවකාශයේ සදා රැ‍්‍ඳී තියේවි!! එසේ රැඳී තිබෙනා තුරාවට එහි ගෞරවය ඔබටම හිමි වේවි!!!

ස්තූතියි!

32 යි ප්‍රතිචාර

සංදීපගේ මයික්කරපෝනය said...

එහෙනම් ලොකු අයියේ පළවෙනි කොමෙන්ටුව මම දාන්නම්..:):)
උඹට සුබ උපන්දිනයක් වේවා.........
උඹේ ගමනට මගෙන් සුබ පැතුම්....
මාත් ඉතිං බ්ලොග් ලියන්න පටන්ගත්තේ උඹ නිසා කිව්වොත් වැරැද්දකුත් නෑ ;)
කොහොම වුනත් උඹට සුබ බ්ලොග් උපන්දිනයක් වේවා මගේ මිත්‍රයා
උඹට ජය !!!!

Anonymous said...

අහ් මචෝ... එල එල,,,
මේ ලැබුවා වූ නව වසරේ උඹේ බ්ලොග් එක හොඳටම හිට් වෙලා, එඩියුකේෂන් වැඩ ටිකත් ඒ වගේම හිට් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා,, ඔන්න මේ පාර පළමු කොමේන්ටුව මගෙන්,,, ජයවේවා,,,

Anonymous said...

අයියෝ මගේ නොම්මරේ මයික්කරපෝනය හොරකන් කරලා,,,

ධනික | Dhanika said...

@සංදීපගේ මයික්කරපෝනය
ස්තූතියි මචෝ...! උඹලගෙ ප්‍රතිචාර මට ගොඩක් වටිනවා. උඹටත් බ්ලොග් ලිවීම තුළ දිගු ගමනක් යන්න මගෙන් සුභපැතුම්!! :)

@pathum
බොහොම ස්තූතියි මචෝ...! අයියෝ එක උනත් දෙක උනත් උඹේ ප්‍රතිචාරෙනෙ මචෝ වටින්නෙ. ඔන්න ඔයාට ආයෙමත් ස්තූතියි!

තිස්ස දොඩන්ගොඩ said...

හිතවත් ධනික මල්ලී... උඹව හැබැහින් දැක කතාකරන්නට කලින් මා ඔබ හඳුනා ගත්තේ මේ බ්ලොග් එකෙන්... ඔබේ සියලු ලිපි මම ඔබ හමුවන්න කලින් කියවා සිටියෙමි... බ්ලොගය තුලින් මගේ මනසෙහි මැවුණු ඔබ, සජීවීව මොහොතකින් ම එය සනාථ කලා.. ඔබේම විශ්ව විද්‍යාලයේ 1995 දී එයින් පිටවූ කෙනෙකු හැටියට මට මිනිසෙකු හැඳිනීම එතරම් අපහසු නෑ... කටපුරා කියන්න ඔබ මගේ ලෝකයේ යෝධයෙක්... රටවල් දහයක පමණ කරක් ගසා ඇති මම ගල් පිළිම හා බොල් පිළිම හොඳින් හඳුනමි... යම් පමනකට ඉංගිරිසිය තොලගාගත් පමණින් විශ්ව සාහිතයයට අඩියක් තැබූ පමණින් අපේ සියලු හරයන්ට පහර ගැසීමට ඉදිරිපත් වන එහෙත් කකුල් හරහා දෙකේ දෙකේ පොලු පහර වැදුනු විට නිතැතින්ම "බුදු අම්මේ" කියැවෙන්නන් හමුවේ ඔබ සැබැවින්ම ගරු කටයුතු තරුණයෙකි... ඔබේ සියලු කටයුතු සර්‍වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා... ඔබට ඇවැසි විට මම ඔබ අසල ඉමි...

හෙළයා said...

එහෙනම් ඔන්න හෙළයත් සුබ පතනවා.
බොරැ කියන්න ඕනේ නෑ නේ. ඉස්සෙල්ලම බ්ලොග් කරන්න ඇවිත් හමුවුනේ මේ බ්ලොග් එක.

ඔබට උණුසුම් සුබ පැතුම්. ඒ වගේම දිගු ගමනක් යමු.

Indranama said...

ඔන්න මචෝ මගෙනුත් සුබ පැතුම්!! :)

මල්$han said...

ඔන්න ඉතින් වෙනදා වගේම ධනික අයියට මගෙනුත් සුභ පැතුම්..දිගු කල් වැජඹේවා.. :)

ධනික | Dhanika said...

@තිස්ස දොඩන්ගොඩ
බොහෝමත්ම ස්තූතියි අයියෙ! මං කලිනුත් කියලා තියෙනවා මගෙ හිතේ... කෙනෙක්ගෙ හොඳක් දැක්කම ඒ ගැන නිහතමානීව ප්‍රශංසා කරන, නරකක් දැක්කම ඒ ගැන ආදරයෙන් පහදා දෙන, අයියා වගේ අයත් මේ සමාජයෙ ඉන්නෙ බොහෝම ටික දෙනයි. එවන් උතුම් කෙනෙක් වන ඔබව අඳුනගන්න ලැබීම ගැන මටත් හුඟක් සතුටුයි!
"ඔබට ඇවැසි විට මම ඔබ අසල ඉමි" - වචනෙත් හුඟක් වටිනවා අයියෙ..
අයියට ස්තූතියි නැවතත්!

@හෙළයා
ස්තූතියි හෙළයො! ආනේ ඇත්තද? මුලින්ම හමුවුනේ මේ බ්ලොග් එකද? එහෙනම් ඉතිං හෙළයට වරදින්න විදියක් නෑ... හෙ හේ.. :D

@ඉන්දරේ | Indranama
ස්තූතියි මචෝ...! :)

@$han
ස්තූතියි මලයණ්ඩියෙ..! :)

වැප් said...

සුබ පැතුම් යාලුවා

පීවර් said...

ධනිකගෙ බ්ලොක් කරනයට සුභ උපන්දිනක්! උපන් දිනක් කියන එක හරිද මන්ද. කෙසේ වෙතත්, මමත් ඔයාට සුභ පතනව.

ධනික | Dhanika said...

@වැප්
ස්තූතියි යාලුවා..! :)

@peter bernard dolahamunage
ස්තූතියි! සුභ පතන එක කොහොම පැතුවම මොකද සහෝ... වචනෙට වඩා වැදගත් හදවතින් එන පැතුමනෙ.. ස්තූතියි ඔබෙ සුභ පැතුමට!

Praසන්ன said...

මගෙනුත් සුභ පැතුම්.දිගු ගමනක් යන්නට....

Kasun Nadeeshana said...

ඔන්න මගෙත් සුබ පැතුම්. මට නම් අර E-bay ගෙන ලියපු ලිපි ටිකට හොදට හිත ගියා. තව තවත් ලිපි ලියන්න ශක්තිය ධෛර්ය ලැබේවා.

Thanoja Rajapaksha said...

මේ ලිපිය ඊයෙ ලියවෙන බව දැනසිටියත්, මට සුභපතන්න බැරි වුනේ ගෙදර යන වෙලාව ලං වෙලා තිබුන නිසයි. අදත් ඉතින් වෙලාව ලැබුනෙ (අනිත් වැඩ ඔක්කොම නවත්තල) දැන් තමයි.. තරහ වෙන්න එපා පුතා..

ඊයෙ හවස ඔයා ලිපිය ලියනවා. මම යෙහෙළියක් එක්ක තේ බොනවා. එකම මේසෙ ඉදගෙන. ඔයා මාව දැක්කෙත් නැහැ. මම ඔයාව දැක්කෙත් නැහැ. :) තේ එකත් රසයි. ඔයාගෙ ලිපියත් රසයි. ඒකයි නේ. මතක් වෙනකොට දැනුත් හිනා....

තමන් ලබා ගන්න දැනුම හා තමන්ගෙ ජීවිත අත්දැකීම් තව තවත් රසකර ලියන්නට අවශ්‍ය ශක්තිය, ධෛර්යය හා කාලවේලාව ලැබේවායි හද පත්ලෙන්ම පතමි. ඒ කිසිවක් නිසා අධ්‍යාපනයට බාධා නොවන බව මම දනිමි.

Deeps said...

ඔන්න අයියේ ආයෙත් ජාල ගත වෙන්න ලැබුණ ගමන් කියවපු මුල්ම ලිපිය ඔයාගේ මේ ලිපිය.. මාත් දැන් ආයෙම වැඩට බහින්නයි යන්නේ...ඒකට ලැබුන එක විදියක පොඩි කික් එකක් කිව්ව්වොත් මේ ලිපිය ඒකත් වැරදි නෑ..එහෙනම් ලියමු ජාලය පවතිනා තුරාවට..සුබ පැතුම්....ජය වේවා

Anonymous said...

සුභ පැතුම්!!!

Shirosh said...

සුභ පැතුම් අයියා! ඊළඟ ලිපිය එනකම් බලන් ඉන්නවා.

ධනික | Dhanika said...

@Praසන්ன
ස්තූතියි!

@Kasun Nadeeshana
ස්තූතියි සහෝ! eBay ගැන තව ලියනවා... ඉවසලා ඉන්නකෝ... :D

@තනෝජා රාජපක්‍ෂ
ස්තූතියි ආන්ටි! අනේ ඇත්තටම ඊයෙ මේ ලිපිය ලිය ලිය ඉන්නකොට ආන්ටි ඒ මේසෙම ඉඳලත් නොදැක්ක එකට සමාවෙන්න ඕනෙ. ඊයෙ උදෙන්ම මේ ලිපිය පළ කරන්න බැරිවෙච්ච එක ගැන මමත් කණස්සල්ලෙන් හිටියෙ. ඒකයි ලැපටම ඔළුව ඔබාගෙන ඉක්මණට ලිපිය ලිව්වෙ. තරහාවෙන්න එපා හොඳේ.

මං ජීවිතාන්දරේ ගැන ලියපු ලිපියට මට ලැබුණු හොඳම විචාරය ලබාදුන්නෙ ආන්ටි කිව්වොත් නිවැරදියි. ස්තූතියි නැවතත් ඒකට!
පුළුවන් කාලයක් පාඨකයන් වෙනුවෙන් බ්ලොග්කරණයේ යෙදෙන්න තමයි අදහස. ආන්ටිගෙ සුභපැතුමට ස්තූතියි!

ධනික | Dhanika said...

@deeps
ස්තූතියි නගෝ! ආනේ දැන් එහෙනම් ආයෙත් ජාලගත වෙන්න පුළුවන්නෙ.. හෙට ඉඳන් එහෙනම් නඟාගෙ අතිනුත් ලියැවෙන හොඳ හොඳ දෑ ආයෙත් අපිට බලාගන්න පුළුවන් වෙයි නේ..? එළ එළ මේ ලිපි වලිනුත් කික් වෙලා ලියමුකො එහෙනම් ජාලය තිබෙනා තුරාවට! :)

@පහන්
ස්තූතියි!

@Shiroshan Randika
ස්තූතියි මල්ලි! ඉක්මණට ලියන්නම් ඊළඟ එක. :)

ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri) said...

මගේ සුභ පැතුම් අයියේ, ඔයාගේ බ්ලොග් එකත්, ඇක ජීවිතයත් වඩ වඩා සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා :)

පෝස්ට් 50කින් followers ලා 140ක් ඇති උනේ ඔයාගේ ලිපි ඇත්තටම රසබර හා හරවත් නිසායි අයියේ. ඇත්තටම ඔයා නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම multi talented එල කොල්ලෙක්, හොඳ මනුස්සයෙක් :)

( අද විශාකා මැඩමුත් ඔයාව මතක් කලා ඔයාගේ බ්ලොග් එක ගැන කියලා :) )

Anonymous said...

සුබ පැතුම් මචෝ.
මම නම් වැඩියෙ කමෙන්ට් කරලා නැහැ ඔයාගේ බ්ලොග් එකේ. ඒත් මම හැම ලිපියක්ම වගේ කියවලා තියෙනවා.

දිගටම ලියන්න.
අපි හැමදාමත් කියවන්න බලන් ඉන්නවා. :)

SAD® said...

ධනික, ඔබගේ මෙම උත්සාහයට සහ සංවත්සරයට මගෙන් සුභ පැතුම් !!!

Supun Sudaraka said...

දැනුයි මේ සටහන කියෙව්වෙ. ලිපි ගණන අඩු වුනත්, ඒ ලිපි වල ගුණාත්මක බවේ නම් කිසිම අඩුවක් නැහැ. හැම ලිපියක්ම, එක වගේම වැදගත්. දිගටම ලියන්න. අපි කියවනවා!

උණුසුම් සුබ පැතුම්!!

ජය!

ධනික | Dhanika said...

@ඉශාන් තිළිණ
බොහොම ස්තූතියි මලයො!
ආනේ ඇත්තද විශාකා මැඩම් මොනාද කිව්වෙ මං ගැනයි බ්ලොග් එක ගැනයි?

මල්ලි දන්නවද විශාකා මැඩම් මගේ බ්ලොග් එක කියවනවා කියලා මං දැනගත්තෙ කොහොමද කියලා? දවසක් අපේ batch meeting එකක් වෙලාවෙ අපි කට්ටියට මැඩම් බැණ බැණ හිටියා අපි presentation skills ගැන දක්වන උනන්දුව මදී කියලා. ඔන්න ඔහොම බැණ බැණ ඉන්න අතරෙ අපේ කට්ටියගෙන් එක පාරටම ඇහුවෙ නැතැයි "Can you do what Dhanika is doing in his blog?" කියලා! :D
මාව උඩගිහින් බිම වැටුණනා!!! :D :D

ධනික | Dhanika said...

@roylyfernando
බොහොම ස්තූතියි සහෝ!
හොඳා හොඳා මෙච්චර කල් කොමෙන්ට් නොකෙරුවට කාරියක් නෑ, හැබැයි ඕං මින් පස්සෙ නම් කොරන්න ඕනා බොලව් හොඳෑ! :D
"අපි හැමදාමත් කියවන්න බලන් ඉන්නවා." - වචනෙත් වටිනවා සහෝ! :)

@SAD®
බොහොම ස්තූතියි සර්! මගේ මේ බ්ලොග් සටහනට ඔබ වැනි වියතෙකුගෙන් ලැබෙන ප්‍රතිචාර මට මහත් සවියක්. ස්තූතියි ඔබට!

@Supun Sudaraka
ස්තූතියි ම‍ලයො!
ඇත්තම කිව්වොත් මං හැම තිස්සෙම උත්සහ කරන්නෙ ලිපි වැඩි ගණනක් ලියනවට වඩා, ලියන හැම ලිපියක්ම වැඩි ගුණාත්මක බවකින් යුතුව ලියන්න. ඔයාලාගෙ ප්‍රතිචාර වලින් පේන විදියට මගේ ඒ උත්සාහය සාර්ථකයි වගේ. ඒ ගැන මට සතුටුයි! :D
මල්ලිටත් ජය!

LishWish said...

සුභ පැතුම් මිතුර.., ජයෙන් ජය ම පතනවා...!!!

ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri) said...

හෆෝයි, මැඩම් කොහොමද දන්නෑ ඔයා බ්ලොග් ලියන බව දැනගත්තේ :s .

මැඩම් එදා ඇහුවා කවුරුවත් බ්ලොග් ලියනවද කියලා . කවුරුත් ලියන්නේ නෑලු(එක්කෙනෙක්වත් ලියන්නේ නෑලු O_o ):D ;) .
ඉතින් මැඩම් Blogging ගැන පොඩ්ඩක් කියලා අයියගේ බ්ලොග් එකත් මතක් කලා " As Dhnika calls it, Dhanikas thoughts " කියලා. :)

තාරක Dilsh@n said...

සුභ පැතුම් සහෝ.
මමත් මුලින් බ්ලොග් කියවන්න පටන් ගත්තෙ මේ බ්ලොග් එකෙන් තමා

ධනික | Dhanika said...

@LishWish
බොහොම ස්තූතියි මචෝ!

@ඉශාන් තිළිණ
අහ් එළ එළ... මැඩම් මගේ බ්ලොග් එක ගැන දන්නවා... මං ඉතිං fb එකේ එහෙම නිතර links දානවනෙ. :)
ළ්
@තාරක Dilsh@n
ස්තූතියි සහෝ! දැන් නම් මගේ මේ බ්ලොග් සටහනට වසර 2 සම්පූර්ණ වෙලත් ඉවරයි. ඒ ගැන ලිව්ව මේ ලිපිය බලන්නකො.

තාරක Dilsh@n said...

මම කමෙන්ට් කලේ 3 වෙනි එකට. මේ පොස්ට් 2ම ඕපන් කරගෙන හිටියෙ. ඒ හින්ද වැරදි එකේ ටයිප් කරල තියෙන්නෙ. සොරි වෙන්න ‍ඕනෙ ;)

ධනික | Dhanika said...

@තාරක Dilsh@n
අයියෝ කිසි අවුලක් නෑ සහෝ... ලිපි දෙක පැටලිච්ච එකේ පුදුම වෙන්න දෙයක් නෑ... මම මේ ලිපි දෙකම ලිව්වෙ එකම style එකට... :)

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...
දන්නවනෙ... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා... :)
[භාෂාව ප්‍රශ්නයක් නෑ - සිංහල/සිංglish/English]

Related Posts with Thumbnails